ට්‍රම්ප්ගේ හැසිරීමත් සමග ලොව කොටස් වෙළෙඳ පොළ රැසක් ඉහළට

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එරෙහිව යම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමත් සමගින්ම ලොව පුරා ආයෝජකයන් තුළ ඉහළ විශ්වාසයක් ගොඩනැගී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

විශේෂයෙන්ම වෛරසය ආසාදනය වී තෙවැනි දිනයේදී ජනපතිවරයා ප්‍රසිද්ධියේ ජනතාව අතරට පැමිණීමත්, සඳුදා දිනයේදී රෝහලෙන් පිටත්වීමට සූදානමින් සිටින බවට ඔහුගේ වෛද්‍යවරයා සිදු කළ අනාවරණයත් යන කාරණා මේ සඳහා හේතු වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ආසියානු කොටස් වෙළෙඳපොළ අතරින් Nikkei 225 1.2%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යාම සිදුව තිබේ. දකුණු කොරියාවේ Kospi (KOSPI) සහ හොංකොං නුවර Hang Seng (HSI) ‍කොටස් වෙළෙඳ පොළ දළ වශයෙන් 1.3% කින් ඉහළ ගොස් ඇත.

එසේම යුරෝපා කොටස් වෙළෙඳ පොළ කිහිපයක්ම ඉහළ යාමට ලක්ව ඇත. ඒ අනුව ලන්ඩන් නුවර FTSE 100 (UKX) 0.4% කින්ද, ප්‍රංශයේ CAC40 (CAC40) සහ ජර්මනියේ DAX (DAX) කොටස් වෙළෙඳ පොළද පිළිවෙලින් 0.6% කින් සහ 0.5% කින් ඉහළ නැග තිබේ.

එසේම එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳ පොළද මේ සමගින්ම ඉහළ නැගි අතර එහි DOW (INDU), S&P 500 (SPX) සහ Nasdaq (COMP) දර්ශක 0.4% කින් සහ 0.6% කින් ඉහළ නැගීම සිදුවිය.

ජනපති ට්‍රම්ප් තමන් නව කොරෝනා ආසාදිතයෙකු බවට පළමුවරට නිවේදනය කිරීමත් සමගින්ම ගෝලීයව ඇති වුණු කලබලකාරී තත්ත්වයත් සමගින්ම ඉහත සඳහන් කළ බොහෝ කොටස් වෙළෙඳ පොළ රැසක්ම කඩා වැටීමට ලක් වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. 

Visits: 590