ආචාර්ය රොෂාන් පෙරේරා සෙංකඩගල ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ට නිලධාරිනියක වන ආචාර්ය රෙෂාන් පෙරේරා පත් කරගෙන ඇතැයි එම සමාගම සඳහන් කරයි.

ඒ අනුව ඇය ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස අද (ඔක්තෝබර් 05) වැනිදා සිට එම සමාගම වෙත පත් කෙරී තිබේ. ඇය සතුව මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තුළ වසර 20කට අධික අත්දැකීම් ඇතැයි සමාගම පවසයි.

මහ බැංකු නිලධාරිනියක ලෙස කටයුතු කළ කාලයේදී ඇය ආර්ථික  පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය, බැංකු ආවේක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය යනාදී ලෙස ජ්‍යෙෂ්ට කළමනාකාර ධුර රැසක්ම දරා තිබේ.

ඊට පෙරාතුව ඇය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය, ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යනාදී ආයතන තුළ උපදේශිකාවක ලෙස කටයුතු කර ඇත. එසේම ඇය රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ බැංකු අංශයේ අධ්‍යක්ෂවරිය ලෙසද ධුරය දරා තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධි හිමි කරගෙන ඇති ඇය ආර්ථික විද්‍යාව පිළිබඳ සිය පශ්චාත් උපාධිය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් හිමි කරගනෙ ඇත. එසේම ඇය මෑතකදී හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පරිපාලනවේදය පිළිබඳ උපාධිය හිමි කර ගැනීමට සමත් වූවාය.

සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස පත් වීම පිළිබඳව අදහස් දක්වන ආචාර්ය රොෂාන් පෙරේරා, “සෙංඩකගල ෆිනෑන්ස් හි කොටසක් බවට පත්වීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. ඉහළ පිළිගැනීමක් සහිත බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස සෙංකඩගල ෆිනෑන්ස් හි ඉදිරි වර්ධනය තවදුරටත් දියුණු කිරිම සඳහා මම මගේ දායකත්වය ලබා දෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියි.

පෙර ලිපි
සෙංකඩගල ෆිනෑන්ස් නෙදර්ලන්ත FMO බැංකුවෙන් ඩො.මි. 25ක ණයක් ගනියි

Visits: 151