සැප්තැම්බර් මාසය කොළඹ කොටස් හුවමාරුවට සුපිරියටම හොඳයිලු

නිමාවුණු සැප්තැම්බර් මාසය තුළදී කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) 12%ක වර්ධනයක් පෙන්නුම් කළ බවත්, එය ලොව අනෙක් මිල දර්ශකයන් අභිබවමින්, එම මාසය තුල වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව ඇති බවත් කොළඹ කොටස්  හුවමාරුව නිවේදනයක් මගින් පවසයි.

එසේම සැප්තැම්බර් මාසය තුළදී කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත වෙළෙදපොළ ප්‍රාග්ධනීකරණයටද රුපියල් බිලියන 279.6ක් එකතු වීමද විශේෂත්වයක් බව එම ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වෙළෙඳපළ ක්‍රියාකාරිත්වය අනිකුත් ගෝලීය දර්ශක හා සසඳන ප්‍රස්තාරික නිරූපණය

මීට අමතරව කොළඹ කොටස් හුවමාරුවෙහි විශාලතම සහ ද්‍රවශීලතාවයෙන් ඉහළම කොටස් 20කින් සමන්විත මිල දර්ශකය වන S & P ශ්‍රී ලංකා 20 මිල දර්ශකයද සැප්තැම්බර්  මාසය තුළ 4.39%ක ප්‍රගතියක් වාර්තා කර ඇති අතර එය සැප්තැම්බර් 30 වන දිනය අවසානයේදී දර්ශක අගය 2,463.27ක් ලෙස සටහන් වී තිබේ.

“මේ අතර, සැප්තැම්බර් මාසයේදී වෙළඳ ගනුදෙනු දිනයක් තුළ සිදු කරන ලද සාමාන්‍ය ගනුදෙනු ගණන 20,607ක් ලෙස වාර්තා වූ අතර, මෙම වසරේදී දක්නට ලැබෙන සාමාන්‍යයට සාපේක්ෂව 96%කින් එම මාසයෙදී මෙම අගය වර්ධනය වීම තවත් විශේෂත්වයක් වෙයි.” කොළඹ කොටස් හුවමාරුව පවසයි.

එසේම මෙමගින් ආයෝජකයින්ගේ උනන්දුවද පෙන්නුම් කරන බවත්, සැප්තැම්බර් මාසයෙදී සමස්ත වෙළෙදපොළ පිරිවැටුම රුපියල් බිලියන 50ක් ලෙස වාර්තා වූ බවත් මෙම නිවේදනයේ සඳහන් වෙයි..

මෙම නවතම වාර්තාව පිළිබදව අදහස් දක්වන කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා, “මැයි 11 නැවත වෙළදපොළ විවෘත කළ පසු වෙළදපොළ දැක් වූ ඉහළ ප්‍රගතිය ගැන අප සතුටු වෙනවා. පොළි අනුපාතයන් යම්තාක් දුරට පහත වැටී ඇති වාතාවරණයක් තුළ තැන්පතු වශයෙන් රැදී ඇති මුදල් කොටස් වෙළදපොළ තුළ ආයෝජනය වන රටාවක් මෑතකදී අප දැක හැකියි. මෙය ඉදිරි මාස කිහිපය තුල එලෙසම සිදුවනු ඇතැයි අප බලාපොරෝත්තු වෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියි.

මේ අතර කොටස් වෙළෙදපොලෙහි ලැයිස්තුගත සමාගම් කොවිඩ් වසංගතයෙහි මුල්‍යමය බලපෑම පාලනය කිරීම හේතුවෙන් අයෝජක ප්‍රජාව අතර විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙන බවත් ඒ මහතා පවසයි.

එසේම ඉදිරි කාර්තු තුළදී ශක්තිමත් ඉපැයිම් ඉදිරිපත් කළ හැකි යැයි බලාපොරොත්තු වන සමාගම් ආයෝජක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබෙන බවත් හෙතෙම පවසා සිටියි.

Visits: 331