ජනපති පිරිනැමූ බස් රථ පුස්තකාල සැකසුනේ මෙහෙමයි

ඊයේ (ඔක්තෝබර් 01) වැනිදාය යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව දිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය. අබලන් තත්ත්වයට පත් අත්හැර දැමුණු ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ යොදා ගනිමින් මෙම පුස්තකාල සකස් කර තිබේ.

ඒ අනුව පුත්තලම, ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ, දොළොස්භාගේ කණිෂ්ඨ විද්‍යාලය, තර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල, කුරුවිට විජය කුමාරතුංග විද්‍යාලය සහගාල්ල, පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලය සඳහා සංකේතාත්මකව පුස්තකාල පරිත්‍යාග කෙරිණ.

ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි පුස්තකාල සකස් කර තිබේ. අංගසම්පූර්ණ එක් පුස්තකාලයක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්න වේ.

මෙලෙස ධාවනයෙන් ඉවත් කළ බස් රථ ජංගම පුස්තකාල බවට පත් කිරීමේ මෙහෙයුම පසුගිය දින කිහිපයේදී මෙලෙස සිදු කෙරිණි.

ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, මනුසත් දෙරණ සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලය පුස්තකාල ව්‍යාපෘතියට අනුග්‍රහකත්වය සපයා තිබේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ප්‍රකාශකයන් විසින් පරිත්‍යාග කරන ලද ග්‍රන්ථ ද පුස්තකාල වෙත භාර දෙනු ලැබිණ.
මොබිටෙල් ආයතනය ඊ-පුස්තකාල පහසුකම් සපයා තිබෙන අතර ඒ ඔස්සේ සිසුන්ට තොරතුරු අධ්‍යයනය කිරීමේ සහ ඊ-ග්‍රන්ථ පරිශීලනය කිරීමේ හැකියාව ලැබී තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් පාසල් 25ක් සඳහා පුස්තකාල පහසුකම්දීම ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

Visits: 103