සඟවා තිබූ සහල් මෙට්‍රික් ටොන් 300ක් අත්අඩංගුවට ගනී

සත්ව ආහාර නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගැනීම සඳහා සූදානමින් ගබඩා කර තිබූ සහල් මෙට්‍රික් ටොන් 300ක් පවතින බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලද තොරතුරක් මත පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ දිනයේ ජා ඇල-ඒකල ප්‍රදේශයේ පිහිටි එම සත්ව ආහාර නිෂ්පාදන සමාගම වැටලූ බව අමාත්‍යාංශය පවසයි.

වැටළීමෙන් පසුව ගබඩා කර තිබූ පාරිභෝජනයට සුදුසු තත්වයේ පැවති එම සහල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සහල්වල වටිනාකම රු.දෙකෝටි පනස් ලක්ෂයකට අධික බව පැවසෙයි.

ඒ අනුව මෙම සත්ව නිෂ්පාදන ආයතනය සතුව ඇති අනෙකුත් තොග හා භාවිතා කරන ලද තොග සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් පැවැත්වීමට පාරිභෝගික සේවා අධිකාරිය මඟින් කටයුතු කර ඇත.

එසේම මෙම නීති විරෝධී කාර්යය සම්බන්ධයෙන් එකී ආයතනය වෙත නඩු පවරමින්, අත්අඩංගුවට ගනු ලැබූ සහල් තොගය හෙට දින මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.

මෙම වැටලීම සඳහා ගරු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ද, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන් ද, ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් ද ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ද වෙළෙඳ අමාත්‍ය මාධ්‍ය ඒකකය සම්බන්ධ වී තිබේ.

Visits: 110