වතුකම්කරු වැටුප් ගැටලුව සහ රජයේ කටුපොල් තහනම අනාගත අභියෝගයි – ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ නව සභාපති භාතිය බුළුමුල්ල

වතු කම්කරුවන්ගේ වැටුප් සංශෝධනය මෙන්ම රජය විසින් කටුපොල් වගාව සඳහා පනවා ඇති තාවකාලික තහනම ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට (PAC) ලබන වසරේ මුල සිට මුහුණ දීමට ඇති ඉතා අභියෝගාත්මක හා තීරණාත්මක කාරණා බව එම සංගමයේ නව සභාපති භාතිය බුළුමුල්ල මහතා පවසයි.

පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 166 වන වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් එහි ඔහු මේ අදහස් පළ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති සභාපතිවරයා, මෙම තීරණාත්මක ගැටළු විසඳීමට සහ අනාගත වැවිලි කර්මාන්තය සඳහා නව දැක්මක් නිර්මාණය කිරීමේ අරමුණින් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය දැන් නව රජය හා එම විෂය සම්බන්ධ අමාත්‍යවරුන් සමඟ ඉතා සමීපව කටයුතු කරන බව  පවසා ඇත.

ඒ අනුව මෙම වැදගත් හා දැවෙන ප‍්‍රශ්න තවදුරටත් කල් නොදමා විසඳිය යුතු බවත්, සියලූ පාර්ශවකරුවන් ඔවුන්ගේ වෙනස්කම් පසෙකට දමා සමස්ත වැවිලි ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් මෙවැනි ගැටළු ස්ථිරවම විසඳිය හැකි බවත් ඔහු අවධාරණය කර තිබේ.

විශේෂයෙන්ම අවුරුදු 150 ක් පැරණි මෙම කීර්තිමත් ක්ෂේත‍්‍රය, දීප්තිමත් අනාගතයක් කරා රැගෙන යාමට අවශ්‍ය නම් තිරසාර වැටුප් ව්‍යුහයක් ක‍්‍රියාත්මක කළ යුතු බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

”අපගේ දැක්ම වන්නේ වතු කම්කරුවන්ට ප‍්‍රතිලාභයක් වන විකල්ප වැටුප් ආකෘතියක් සඳහා කටයුතු ආරම්භ කිරීමයි. අනතුරුව ඉදිරි පරම්පරාවන් සඳහා අපගේ ක්ෂේත‍්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාමයි. වතුකරයේ සිට නාගරික ප‍්‍රදේශවලට තරුණ තරුණියන් සංක‍්‍රමණය වීම ද කම්කරුවන්ගේ උග‍්‍ර හිඟයට හේතු වෙලා. මෙම ගැටළුව විසඳීමට හා අපගේ ක්ෂේත‍්‍රය දියුණු කිරීම සඳහා ද අප වෙනස් ආකාරයෙන් සිතිය යුතු වෙනවා.” යනුවෙන් ඔහු පවසා ඇත.

ඒ අනුව මෙම දිගුකාලීන බාධකවලින් මිදී උපරිම ඵලදායිතාවක් ළඟා කර ගැනීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම අත්‍යාවශ්‍ය බව ද ඔහු සඳහන් කර ඇත.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයෙන් ඉවත්ව යන සුනිල් පොහොලියද්ද මහතාද මෙහිදී අදහස් දක්වමින්, කොවිඞ්-19 වසංගත තත්වය අතරතුර වැවිලි ක්ෂේත‍්‍රයේ අඛණ්ඩතාවය සහතික කිරීම සඳහා පියවර ගැනීම පිළිබඳව රජයට ස්තූතිය පුද කරන බව පවසා තිබේ.

අවශ්‍ය සියලූ ආරක්ෂිත සෞඛ්‍ය පියවරයන් අනුගමනය කිරීම සහ ආරම්භයේ සිටම ක්ෂේත‍්‍රයට කිසිඳු අහිතකර බලපෑමක් ඇතිවීමට ඉඩක් නොතිබීම සහතික කිරීම පිළිබඳව සියලූ වතු සමාගම්වලට සහ ඔවුන්ගේ විධායක නිලධාරීන්ට, විශේෂයෙන් වගා විධායක නිලධාරීන්ට සහ වතු කාර්ය මණ්ඩලයට ද ඔහු සිය විශේෂ ස්තූති පුද කර ඇත.

ශ‍්‍රී ලංකාවේ තේ වගාව වාණිජ වශයෙන් ඇරඹීමට වසර 13 කට පෙර එනම් වර්ෂ 1854 දී ස්ථාපනය කරන ලද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ශත වර්ෂ එකහමාරක් පුරා ශ‍්‍රී ලංකා වැවිලි ක්ෂේත‍්‍රයට මෙන්ම ජාතික ආර්ථිකයට ද විශාල මෙහෙයක් ඉටු කර තිබේ. 

ප‍්‍රාදේශීය වැවිලි සමාගම් 23 ක් ඇතුළුව 180 කට වැඩි සාමාජිකයන් පිරිසක් සාමාජිකත්වය දරන වැවිලිකරුවන්ගේ සංගමය ශ‍්‍රී ලංකාවේ තේ, රබර් ඔයිල් පාම් සහ පොල් යන වැවිලි බෝගයන්ගෙන් 40% කට වඩා වැඩි ප‍්‍රමාණයක් ද ඒ හා සම්බන්ධ කර්මාන්තශාලා 332 ක් ද කළමනාකරණය කරනු ලබයි. එසේම මේ යටතේ සෘජු රැකියා ලක්ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයක් උත්පාදනය කර ඇති අතර ඒ ආශ‍්‍රිතව බිහි වී ඇති වක‍්‍ර රැකියා ද සමගින් සමස්ත වශයෙන් දස ලක්ෂයක් පමණ වන පිරිසකට ජීවනෝපාය සැලසීමට වැවිලිකරුවන්ගේ සංගමයට හැකි වී තිබේ.

Visits: 178