මොරිසන් පීඑල්සී කොළඹ කොටස් හුවමාරුව හැර යයි

හේමාස් සමූහයට අයත් මොරිසන් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීමෙන් ඉවත්වී ඇතැයි එහි බලධාරීන් නිල වශයෙන් නිවේදනය කර සිටියි. ඊයේ (2020 සැප්තැම්බර් 29) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මොරිසන් සමාගම මෙම ලැයිස්තුගත වීමෙන් ඉවත්ව තිබේ.

එම සමාගම මෙලෙස කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්ගුතවීමෙන් ඉවත්වන බවට පළමුවරට නිවේදනය කර තිබුණේ 2019 වසරේ සැප්තැම්බර් 03 වැනිදාය. ඒ අනුව සමාගම යටතේ පැවැති ඡන්ද හිමි කොටස් සහ නිශ්ඡන්ද කොටස් මෙලෙස කොළඹ කොටස් හුවමාරුවේ නිල ලැයිස්තුවෙන් ඉවත් කරගන්නා බව සඳහන් කෙරී තිබුණි.

එසේම ඒ සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය මෙන්ම අදාළ නියාමන ආයතනවල අනුමැතිය යටතේ මෙම කටයුතු සිදු වන බවත් මොරිසන් පීඑල්සී පවසා තිබුණි.

ඒ අනුව මොරිසන් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරුන් ගත් තීරණයකට අනුව සමාගමේ ප්‍රධාන කොටස්හිමිකාර සමාගම වන හේමාස් මැනියුෆැක්චරින් (පෞද්ගලික) සමාගම මගින් මෙම කොටස් මිලදී ගැනීමට කටයුතු යොදන බව පැවසුණි. ඒ අනුව ඡන්ද හිමි කොටස් කොටසක් රුපියල් 850ක  මුදලකට නිෂ්ඡන්ද කොටස් කොටසක් රුපියල් 700ක මුදලකටද මෙහිදී මිලදී ගැනීමට එම සමාගම පියවර ගත් බව සඳහන් වෙයි.

Visits: 703