ජාත්‍යන්තර වර්ගීකරණය රටෙහි ආර්ථිකයේ සැබෑව නොවන බව දේශීය ආයෝජකයන් පෙන්වයි

ජාත්‍යන්තර මූඩී’ස් වර්ගීකරණ ආයතනය මගින් පෙරේදා (සැප්. 28) දිනයේදී ලංකාව පිළිබඳ වන වර්ගීකරණයේ පහත හෙළීම සහ ඊයේ (සැප්. 29) දිනයේදී මෙරට බැංකු සඳහා වන වර්ගීකරණයද පහත හෙළීම හේතුවෙන් කොටස් හුවමාරුව වෙත එල්ල වූ බලපෑම අද (සැප්තැම්බර් 30) දිනයේ පළමු අර්ධයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ හොඳින් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශක අගය පළමු අර්ධයේදී ඒකක 50 කින් පමණ පහත වැටීමක් දක්නට ලැබුණි.

කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී දේශීය ආයෝජකයන් තවදුරටත් පෙන්නුම් කළ කොටස් ගනුදෙනු සඳහා වන කැමැත්තත් සමගින්ම දර්ශක අගයන් තවදුරටත් පහත නොවැටී ආරක්ෂාවීමට හේතු වී තිබේ. ඒ අනුව ජාත්‍යන්තර ආයතනය මගින් කවර වර්ගීකරණයක් ඉදිරිපත් කළද එය රටෙහි සැබෑ ආර්ථික තත්ත්වය පෙන්නුම් කිරීමක් නොවන බවට මෙම ආයෝජකයන් අද දිනයේදී සනාථ කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

මේ තත්ත්වයත් සමගින්ම අද දිනයේදී සමස්ත කොටස් මිල දර්ශකය මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා මිල දර්ශකයද ඊයේ (සැප්තැම්බර් 29) දිනයට සාපේක්ෂව තවදුරටත් ඍණ අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,936.70 ත් ඒකක 6,004.13 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,984.84ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 29) දිනයට සාපේක්ෂව එය ඒකක 8.71 ක් එනම් -0.15%ක පසුබැසීමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනු ලෙස ඩීඑෆ්සීසී බැංකුව, කොමර්ෂල් බැංකුව සහ හේලීස් ෆැබ්රික් පීඑල්සී සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 6%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 82ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 103ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, නෙස්ලේ ලංකා පීඑල්සී NEST (-5.07),  සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+4.58), කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී LAMB (+3.34), අමානා බැංකුව පීඑල්සී ABL (+3.00), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+2.70), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-6.61), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-4.14),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.95), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (-3.33)  සහ බ්‍රවුන්ස්  ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (-3.31) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,463.27 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 29) දිනයට සාපේක්ෂව ඒකක 12.84 ක එනම් 0.58%ක පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.07ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ වාර්තා කළ රුපියල් බිලියන 3.15 ට සාපේක්ෂව 35%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.60 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 8.96%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 46.59ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 115.17ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 68.6කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 39.86ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සීඅයිසී හෝලඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 14.8කි. එසේම ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 22.96ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 407ක් සඳහා බැංකු දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 20% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන සහ පාරිභෝගික භාණ්ඩ සහ ඇගලුම් අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 323ක සහ රුපියල් මිලියන 269ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 327