‘ලංකා ආර්ථික සමුළුව 2020’ දෙසැම්බර් 1 – 2 ෂැංග්‍රිලා හෝටලයේදී

ලංකා වාණිජ මණ්ඩලය මගින් 20 වැනිවරටත් සංවිධානය කරනු  ලබන ලංකා ආර්ථික සමුළුව 2020 (SLES – Sri Lanka Economic Summit) ලබන දෙසැම්බර් 1 සහ 2 දෙදින තුළ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එම මණ්ඩලය නිවේදනය කරයි.

මෙවර සමුළුවේ තේමාව වන්නේ ‘අනාගතය සඳහා වන පෙර දැක්ම : ජනතා-කේන්ද්‍රීය ආර්ථික උන්නතියක් උදෙසා’ යන්නයි. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයන්, ව්‍යාපාරික නායකයන් මෙන්ම ඉහළ පෙළේ ජාත්‍යන්තර නියෝජිතයන්ද සහභාගිවීමට නියමිතව ඇත.

මෙම සමුළුවේ තේමාව අනුව රටෙහි අනාගත ආර්ථික දියත් කිරීමක් සඳහා වන පෙර දැක්ම පිළිබඳව හඳුනාගැනීම අදහස වී ඇත. ඒ හරහා වසංගතයෙන් පසු තත්ත්වයේදී ආර්ථිකය යළි ගොඩනැගීමේ වේගය ඉහළ නැංවීම සහ ජනතා – කේන්ද්‍රීය ආර්ථික උන්නතියක් සඳහා සිදු කළ යුතු මූලික කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමත් සැලසුම වී තිබේ.

“ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා වන පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය යාන්ත්‍රයේ භූමිකාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත. එසේම කෘෂිකාර්මික සහ සංචාරක යන ක්ෂේත්‍ර පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් පැවැත්වීමත්, දේශීය කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳවත් මෙම සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත.” ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.

පසුගිය වසරේදී පැවැත්වුණු මෙම ආර්ථික සමුළුව ‘2025 වසර දක්වා  ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් පථය යළි ගණනය කිරීම (RE-SET 2025)’ යන තේමාවෙන් ක්‍රියාත්මක විය. ඒ සඳහා විවිධ වෘත්තිකයන්, සමාගම් ප්‍රධානීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්‍යාර්තීන්, සිසුන් ඇතුළු ජ්‍යෙෂ්ට රජයේ නිලධාරීන් ඇතුළු 450කට අධික පිරිසක් සහභාගි වී  තිබේ.

මෙම  ලංකා ආර්ථික සමුළුව 2020 සඳහා ලියාපදිංචි වීම සඳහා වන අවස්ථාව මේ වන විට විවෘත කර ඇති අතර, වැඩි දුර තොරතුරු ලංකා වාණිජ මණ්ඩලයේ දුරකතන අංක 0115588852 හෝ 0115588805 හරහා ඇමතීමෙන් ලබා ගත හැකි බවත් එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 66