හිටපු මුදල් ඇමති උපදේශක දේශාල් සම්පත් බැංකුවේ ස්වාධීන අධ්‍යක්ෂවරුන් අතර ජ්‍යෙෂ්ට ධුරයට

සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුව කටයුතු කරන දේශාල් ද මෙල් මහතා එහි ජ්‍යෙෂ්ට ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇතැයි එම බැංකුව පසුගියදා නිවේදනය කර තිබුණි. සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වුනු එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

රාජ්‍ය, පෞද්ගලික අංශය තුළ මෙන්ම ශාස්ත්‍රීය මට්ටමින්ද ආර්ථිකය පිළිබඳ අත්දැකීම් සහිත දේශාල් ද මෙල් මහතා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආර්ථික උපදේශකවරයෙකු ලෙස 2017 වසරේ සිට 2019 දක්වා කටයුතු කළේය.

ඊට පෙර ඒ මහතා හේලීස් සමූහයේ ජ්‍යෙෂ්ට ආර්ථිකවිද්‍යාඥයා ලෙසටද කටයුතු කර ඇත. එසේම පසුගිය රජය සමයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් කේටරින් යන ආයතන තුළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබේ. මීට අමතරව ඔහු 2018-2019 කාලසීමාවේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙසද පත් වීම් ලැබුවේය.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනවිද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ආර්ථිකවිද්‍යාව පිළිබඳ උපාධිය හිමි කරගෙන ඇති දේශාල් ද මෙල් මහතා, ලන්ඩනයේ ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හිදී ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකය පිළිබඳව උසස් උපාධිය හිමි කරගෙන ඇත. එසේම 2019 වසරේදී ලෝක ආර්ථික ෆෝරමය මගින් ඔහු තරුණ ගෝලීය නායකයා ලෙසද තෝරාපත් කර ගැනුණි.

දේශාල් දි මෙල් මහතා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කළ ටාරා දි මෙල් මහත්මියගේ පුත්‍රයාද වෙයි.

Visits: 324