මාස අටකට පසුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 6,000 පසුකරයි

අද දිනයේ (සැප්තැම්බර් 28) කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසානයේදී සමස්ත කොටස් මිල දර්ශකය 6,000 සීමාව පසු කිරීමට සමත් විය. පසුගිය ජනවාරි 07 වැනිදාට පසුව පළමු වතාවට මෙවැනි තත්ත්වයක් පෙන්නුම් කිරීමත් විශේෂත්වයක් වූ බවත්, ඒ සඳහා කාර්සන්ස් කුම්බර්බැච් සහ බුකිට් ඩරාහ් යන සමාගම් පෙන්නුම් කළ ඉහළ ගනුදෙනු මේ සඳහා හේතු වූ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව දිනයේ ගනුදෙනු තුළදී මෙම සමාගම් දෙකෙහි පමණක් සිදු වූ ගනුදෙනු සමස්ත කොටස් මිල දර්ශකය සඳහා 58% ක දායකත්වයක් ලබා දී ඇත. එසේම බැංකු කොටස් සඳහා වන ආයෝජකයන්ගේ ගැනුම්බරතාවද එලෙසින්ම තවදුරටත් පැවතුණු බවත් කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කර සිටියි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,883.46 ත් ඒකක 6,040.44 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 6,028.20ක් බවට පත්විය. ඒ අනුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 25) දිනයට සාපේක්ෂව එය ඒකක 169.16 ක් එනම් 2.89%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනු ලෙස කොමර්ෂල් බැංකුව සිදු කළ ගනුදෙනුව දිනයේ සමස්ත පිරිවැටුමෙන් 1%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 128ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 65ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, කාර්සන් කුම්බර්බැච් පීඑල්සී CARS (-49.25),  බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+48.81), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+9.53), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (+7.13), සීටී හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+4.68), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (-3.31), ආසිරි හොස්පිටල්ස් පීඑල්සී ASIR (-1.05),  ටෝකියෝ සිමෙන්ට් (ලංකා) පීඑල්සී TKYO (-0.98), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-0.90)  සහ එල්ඕඑල්සී පීඑල්සී LOLC (-0.66යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,495.72 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 25) දිනයට සාපේක්ෂව ඒකක 13.64 ක එනම් 0.55%ක  ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.89ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා වාර්තා කළ රුපියල් බිලියන 2.42 ට සාපේක්ෂව 22%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

මේ අතර බුකිට් ඩරාහ් පීඑල්සී BUKI හි කොටස් වටිනාකම් රුපියල් 208.00 සිට රුපියල් 505.70 දක්වා 70%කින් ඉහළ නැග තිබේ. එසේම කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS හි කොටස් වටිනාකම් රුපියල් 109.00 සිට 364.70 දක්වා 43% කින් ඉහළ නැග ඇත. ඒ අනුව මෙම සමාගම් දෙක හරහා පමණක් වෙළෙඳ පොළ සමස්ත ප්‍රාග්ධනීකරණය වෙත රුපියල් බිලියන 42.6 ක දායකත්වයක් ලබා දී තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 73.5 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 8.10%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 38.31ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 117.73ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 79.4කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 38.60ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කොමර්ෂල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 10.03කි. එසේම ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 26.20ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 344ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 18% ක අගයක් ගෙන තිබේ. එසේම නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ බැංකු යන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 274ක සහ රුපියල් මිලියන 253ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 330