COVID-19 පාලනයෙන් ශ්‍රී ලංකාව දෙවැනි තැනලු

ලොව පුරා වසංගතයක් ලෙස ව්‍යාප්ත වූ COVID-19 පාලනය කිරීම සම්බන්ධයෙන් සකස් කළ අලුත්ම ලෝක සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව එහි සමස්ත ගණනය කිරීම් අනුව දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇතැයි වාර්තා වෙයි. චීනයේ YICAI Research Institute නම් පර්යේෂණ ආයතනය මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. ඒ අනුව දූපත් රාජ්‍යයක් ලෙස ලබා ගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව හිමි කරගැනීමටද ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

එහි සඳහන් ආකාරයට මෙම සමස්ත ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාව හිමිකර ගෙන ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 59.2 කි. මුල් ස්ථානයට පත්ව ඇති චීනය ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 68.1 කි. තෙවැනි ස්ථානය ඝානාව හිමි කරගෙන ඇති අතර සමස්ත ලකුණු සංඛ්‍යාව 58.8 කි.

කෙසේ වෙතත් සලකා බලා ඇති අනෙකුත් කරුණු යටතේ ගත් කළ, වසංගතයට එරෙහි සටනේ දී ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 70.8 කි. ඒ අනුව ශ්‍රී ලංකාව එම දර්ශකයේ අංක තුන ස්ථානයට පත්ව තිබේ.

එසේම ආර්ථික ප්‍රතිසාධනය යටතේ ලකුණු 49.1ක් හිමි කරගෙන ඇති අතර දර්ශකයේ හිමි කරගෙන ඇත්තේ 12 වැනි ස්ථානයයි.

මිට අමතරව ජාත්‍යන්තර සහයෝගිතාව යටතේ ශ්‍රී ලංකාව ලකුණු 20ක් හිමි කරගෙන ඇති අතර එහි දර්ශකයේ 33 වැනි ස්ථානයට පත්ව තිබේ.

මුල් ස්ථානයට පත්ව ඇති චීනය වසංගතයට එරෙහි සටනේ ලකුණු 75.1ක් හිමි කරගෙන මුල් ස්ථානයට පත්ව ඇත. එසේම ආර්ථික ප්‍රතිසාධනය යටතේ ලකුණු 66.5 ක් හිමි කරගෙන දෙවැනි ස්ථානයට පත්ව ඇත. මීට අමතරව ජාත්‍යන්තර සහයෝගිතාව යටතේ ලකුණු 31ක් ල බා ගනිමින් 25 වැනි ස්ථානයට පත්ව තිබේ.

මෙම සමස්ත අගය අනුව සිව්වැනි ස්ථානය උතුරු කොරියාව වෙත  හිමිව ඇත. එසේම  ඉන්දියාව ලකුණු 43.6ක් ලබා ගනිමින් 45 වැනි ස්ථානයට පත්ව තිබේ. ලකුණු 25.4ක් ලබා ගත් ඇමෙරිකා එක්සත් ජනපදය 98 වැනි ස්ථානයට පත්ව ඇත.

මෙම සමීක්ෂණය සඳහන් කරන ආකාරයට  COVID-19 හමුවේ හොඳම ආර්ථික ප්‍රතිසාධනයක් සිදු කරගත් රට ලෙස මියන්මාරය නම්ව ඇත. ඔවුන් ල බා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 66.6 කි.  එසේම හොඳම ජාත්‍යන්තර සහයෝගිතාවක් ඇති කරගත් රට ලෙස අසර්බයිජානය නම්ව තිබේ. ඔවුන් ඒ සඳහා  ලකුණු 100ක්  හිමි කරගෙන ඇත.

Visits: 96