බංකොලොත් රාජ්‍ය ආයතන 10ක් ඈවර කිරීමේ සූදානමක්?

රජය යටතේ ක්‍රියාත්මක බංකොලොත් ආයතන 10ක් ඉදිරි කාලසීමාව තුළදී ඈවර කර දැමීමට රජය අදහස් කරගෙන තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කරයි. 2021 වසරේ අයවැයේදී රජයේ වියදම් අඩු කිරීමේ සැලසුමක් යටතේ මහාභාණ්ඩාගාරය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එහිදී මෙම රාජ්‍ය ආයතනවල සේවකයන්ට මෙන්ම රජයටත් කිසිදු අවාසියක් සිදු නොවන ආකාරයෙන් අදාළ ඈවර කිරීම් සිදු කිරීම මහා භාණ්ඩාගාරයේ අදහස වී තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය අගෝස්තු 9 වැනිදා ඉදිරිපත් වූ විශේෂ ගැසට් නිවේදනය උපුටා දක්වන පුවත්පත, ඒ හරහා රාජ්‍ය ආයතන  හතරක් ඈවර කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යටතට පත් කර තිබේ. ඒ අනුව දුරකතන සන්නිවේදන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වනජීවී භාරය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව ඒ යටතට අයත් වෙයි.

මීට අමතරව මිහින් ලංකා, ලංකා ෆැබ්රික් සමාගම, 2018 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ලංසු තැබීම සඳහා පිහිට වූ CWG හම්බන්තොට පෞද්ගලික සමාගම, රජරට ෆුඩ් ග්‍රේන් සමාගම, රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව සහ ජනතා පොහොර ව්‍යවසායකත්ව සමාගම යන සමාගම්ද මෙම ඉරණමට ලක්වන බව පුවත්පත පවසයි.

මේ අතර, රජයට අයත් ජාතික යන්ත්‍රෝපකරණ ආයතන සහ ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන හා අපනයන සංස්ථාවද මේ වනවිට ඈවර කිරීම සම්බන්ධයෙන් අවධානයට යොමුව තිබේ.

මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද 2020 වසරේ මුල් මාස හතර සඳහා වන රජයට අයත් ව්‍යවසායන්හි කාර්යසාධන වාර්තාවට අනුව ආයතන 52ක් තුළ රුපියල් මිලියන 35,310ක අලාභයක් සිදුව ඇති බ ව අනාවරණය වී ඇත.

Visits: 539