ඩිල්මා වෙතින් ඔස්ට්‍රේලියාවට තේ බියර්

මෙරට සුප්‍රසිද්ධ තේ සන්නාමයක් වන ඩිල්මා තේ (Dilmah tea) සමාගම ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ බියර් නිෂ්පාදන සමාගමක් වන පයිරේට් ලයිෆ් බෘවින්ග් (Pirate Life Brewing) හා එක්ව එරට වෙළෙඳ පොළ සඳහා තේ බියර් (tea beer) හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.

මෙහිදී ඔස්ට්‍රේලියාවේ බියර් සතු නැවුම් රසය ශ්‍රී ලංකාවේ කළු තේ සතු ස්වාභාවික ගුණයන්ද කැටිකරගනිමින් මෙම නව හඳුන්වාදීම සිදු කරන බව ඩිල්මා තේ සමාගම සඳහන් කරයි.

‘Tea & Biccies Brown Ale’ ලෙස මෙය ඉදිරිපත් කර ඇත. පසුගිය සැප්තැම්බර් 24 වැනිදා සිට මෙම නවතම  හඳුන්වාදීම ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොළ තුළ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.

අතින් නෙලාගත් මෝල්ටඩ් බාර්ලි, නවසීලන්තයේ බීර මල් සහ අතිවිශිෂ්ට ශ්‍රී ලංකාවේ බ්ලැක් සිලෝන් ටී කිලෝ ගණනක් එක් කරමින් මෙම නව බීර තේ පානය නිපදවා තිබේ.” ඔස්ට්‍රේලියාවේ පයිරේට් ලයිෆ් බෘවින්ග් සමාගම සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සමාගමේ නිර්මාතෘ මයිකල් කැමරන්, “අපි තේ සහ බියර් වෙත යා හැකි සීමාවන් අතික්‍රමණය කිරීමට සැලසුම් සකස් කරනවා.” යනුවෙන් සඳහන් කරයි.

මෙම නවතම තේ බියර් පානය හඳුන්වාදීම පසුගියදා කොළඹ පිහිටි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතාගේ නිවසේදී සිදු විය. එම අවස්ථාව සඳහා ඩිල්මා තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු, ඩිල්මා ප්‍රධාන විධායක නිලධාරි ඩිල්හාන් ප්‍රනාන්දු සහ ඩිල්මා පවුලේ මලික් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගි වී ඇත.

මිලිලීටර් 355 කෑන් ලෙස ඉදිරිපත් වන මෙම තේ බියර් පානය තුළ ඇල්කොහොල් ප්‍රතිශතය 5.6% කි.

Visits: 667