‘ස්පාර්ක් එයාර්’ නමින් නව ගුවන් සේවයකට අවසර ඉල්ලයි

මෙරට තුළ මගීන්, නැව් භාණ්ඩ හා තැපැල් ප්‍රවාහනය සඳහා කුලී මෙහෙයුම් සහ විධිමත් ප්‍රවාහන සේවාවක් (International – Charter Operation/Regular Operation) පවත්වාගෙන  යාම සඳහා ස්පාර්ක් එයාර් (පුද්ගලික) නම් පුද්ගලික ආයතනයක් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතා විසින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව කරුණු අනාවරණය කර සිටියි. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 08 වැනිදා මෙම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කෙරී ඇත. ‘ස්පාර්ක් එයාර්’ නමින් එහි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සැලසුම වී ඇත.

එහිදී 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ රෙගුලාසි හා කොන්දේසිවලට අනුකූලව ගුවන් මෙහෙයුම් සහතිකය සහ බලපත්‍රය ලබා ගැනීම සඳහා මෙම ආයතනය ඉල්ලීම් සිදු කර තිබේ. කදාන, හල්පෙ මාවත, අංක 33/1 යන ලිපිනයෙහි මෙම ස්පාර්ක් එයාර් ආයතනය පිහිටා ඇත.

එහිදී ස්පාර්ක් එයාර් (පුද්ගලික) ආයතනය යන නම භාවිත කරන එහි අධ්‍යක්ෂ සාමාජිකයන් ලෙස කපිතාන් රොබට් එස්. ස්පිට්ල්, කපිතාන් මොහොමඩ් රම්සි රහීම්,  කපිතාන් සමීන් අත්තනායක, කපිතාන් අශාන් ද අල්විස්, සුරන්ජන්ද සිල්වා යන මහත්වරුන් කටයුතු කරයි.

එසේම ස්පාර්ක් එයාර් (පුද්ගලික) ආයතනයේ යෝජිත ගුවන් මෙහෙයුම් කටයුතු පිළිබඳ පූර්ණ වගකීම සහ කළමනාකාරීත්වය සඳහා කපිතාන් මොහොමඩ් රම්සි රහීම් මහතා නම් කර ඇති බවත් එම ආයතනය සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත දන්වා තිබේ.

මෙම මාසය ඇතුළතදී මෙලෙස අභ්‍යන්තර මගීන් සහ තැපැල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගුවන් සේවාවක් ආරම්භ කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසරය ඉල්ලූ දෙවැනි ගුවන් සමාගම වන්නේද ‘ස්පාර්ක් එයාර්’ ආයතනයයි. මීට පෙර ‘ෆ්ලයි ලංකන් ඒෂියා (පුද්ගලික) ආයතනය’ ද එවැනි ඉල්ලීමක් සිදු කර තිබුණි.

පෙර ලිපිය
‘ෆ්ලයි ලංකන්’ නමින් නව ගුවන් සේවයකට අවසර ඉල්ලයි

Visits: 158