ශ්‍රී ලංකාවේ ‘වනජීවය’ සජීවී අන්තර්ජාල විකාශයක් ලෙසින් ලබාදීමට යයි

නව කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට සංචාරය කිරීමට අපහසු වී සිටින විදෙස් සංචාරකයන් වෙත මෙන්ම දේශීය සංචාරකයන් වෙතද මෙරට වනජීවී පරිසරයේ පවතින සුන්දරත්වය අන්තර්ජාලය හරහා ‘සජීවි විකාශනයක්’ ලෙස ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව පෞද්ගලික අංශය සමගින් එක්ව ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන තුළ වෙසෙන සතුන් ඇතුළු වන ජීවී පරිසරය මෙන්ම ඔවුන්ගේ  හැසිරීම් රටා මෙලෙස සජීවීව විකාශනය කිරීමට සැලසුම් සකස් කෙරී ඇත. මේ හරහා විදෙස් සංචාරකයන් වෙත ශ්‍රී ලංකාවේදී ලැබිය හැකි වනජීවී සංචාරක අත්දැකීම් පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ඩිජිටල් වේදිකාව තුළ ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළට ඔසවා තැබීමට හැකියාව ලැබෙනු ඇතැයිද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මෙම සජීවී අන්තර්ජාල විකාශනය යටතේ යාල, මින්නේරිය, කවුඩුල්ල සහ උඩවලව යන ප්‍රධාන ජාතික වනෝද්‍යාන ආවරණය කෙරෙන බව එම කාර්යාංශය පවසයි. එහිදී කොටියන්, වලසුන්, අලින්, කිඹුලන්, කුරුල්ලන්, අලංකාර වනජීවී දර්ශන මෙන්ම ක්ෂීරපායින්ගේ සහ පක්ෂීන්ගේ විවිධ හැසිරීම් යනාදිය ආවරණය කිරීමට සැලසුම් කෙරී ඇත.

කාර්යාංශය පවසන ආකාරයට මෙම ව්‍යාපෘතිය යටතේ පැයක කාලයක් පුරා දිවෙන සජීවී විකාශන අටක් සිදු කෙරේ. මෙම සජීවී දර්ශන යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් සහ ෆේස්බුක් යන සමාජ මාධ්‍ය තුළ විකාශය කිරීමට සැලසුම් කර තිබේ. එසේම විකාශන මාධ්‍ය හරහාද තවදුරටත් පුළුල් ප්‍රේක්ෂකයන් පිරිසක් වෙත මෙම විකාශනයන් ළගා විය හැකි ලෙස හුවමාරු කිරීමේ  හැකියාවද පවතින බව කාර්යාංශය සඳහන් කරයි.

Visits: 80