වටප්‍රමාණය අනුව පොල් සඳහා නියම වූ උපරිම සිල්ලර මිල මෙන්න

වෙළෙඳ පොළෙහි පොල් මිල ඉහළ යාමත් සමගම පොල් සඳහා ගෙඩියේ වටප්‍රමාණය අනුව සකස් කළ උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය මගින් ඊයේ තීරණය කෙරිණි. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනයද පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කර තිබේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනත අනුව මෙම උපරිම සිල්ලර මිල නියම කරන බව එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කර සිටියි.

ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13ක් වන පොල් ගෙඩියක් සඳහා වන උපරිම මිල රුපියල් 70 කි. එසේම වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර ප්‍රමාණයේ පොල්ගෙඩියක් රුපියල් 65ක උපරිම මිලකට අලෙවි කළ හැකිය. වට ප්‍රමාණය අඟල් 12ට වඩා අඩු පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 50කි.

සභාපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ඉහත සඳහන් මිලට වඩා වැඩි මිලට පොල් අලෙවි කිරීමට කිසිදු පොල් නිෂ්පාදකයෙකුට, පොල් බෙදාහරින්නෙකුට හෝ අලෙවිකරුවෙකුට අවස්ථාව නොමැති බවත් සඳහන් වෙයි.

මේ වනවිට රටෙහි පොල් ඵලදාවේ පවතින අඩුවීමත්, නිපදවන පොල් වැඩි ප්‍රමාණයක් අපනයනය සඳහා යොමු කිරීමත් යන කාරණා නිසා මෙලෙස වෙළෙඳපොළේ පොල් මිල ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත.

මේ අතර පසුගිය සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වුණු අවසන් පොල් වෙන්දේසියේදී පොල් ගෙඩියක් රුපියල් 56.40 ක මුදලකට වෙන්දේසි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහිදී පොල් ගෙඩි 707,125ක් වෙන්දේසියට ඉදිරිපත්ව ඇති අතර ඉන් පොල් 529,709ක් වෙන්දේසි වී ඇත.

මේ වනවිට වෙළෙඳපොළේ ලොකු පොල් ගෙඩියක මිල රුපියල් 95ක සිට පහළට අලෙවි වෙයි.

Visits: 85