“තවමත් ලැයිස්ගුතවී නැති විශාල සමාගම් දැන්වත් කොටස් හුවමාරුව වෙත එන්න” – සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න

කොළඹ කොටස් හුවමාරුව තුළ තවමත් ලැයිස්ගුතවී නොමැති මෙරට විශාල සමාගම් බොහෝමයක් පවතින බවත්, එම සමාගම් වෙත ඒ සඳහා ආරාධනා කරන බවත් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා පවසයි.

පසුගියදා පැවැත්වුණු කොළඹ කොටස් හුවමාරුවට ඩිජිටල් ක්‍රමවේද හඳුන්වාදීමේ අවස්ථාවේදී ඔහු මේ අදහස් පළ කළේය.

“කොළඹ කොටස් හුවමාරුව තුළ මෙතෙක් ලැයිස්තුගත නොවුණු විශාල සමාගම් රැසක්ම ලංකාවේ තිබෙනවා. ඔවුන්ට ඉදිරියට පැමිණිලා තමන්ගේ සමාගම් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්ගුත කරන්න කියන ආරාධනාව මම මෙතැනදී සිදු කරනවා.”

විශේෂයෙන්ම කොළඹ කොටස් වෙළෙඳ පොළ තවදුරටත් ශක්තිමත් කිරීමට තමන්ට අවශ්‍යව ඇති බවත්, එම සමාගම්හි සහභාගිත්වය හරහා එය සුරක්ෂිත වන බවත් හෙතෙම සඳහන් කරයි.

එසේම මෙරට පවතින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙතද මෙන්ම ස්ටාර්ට්අපි ව්‍යාපාර වෙතද කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගතවීම් සඳහා අවස්ථාව දැන් උදා වී පවතින බවත් ඔහු පැවසීය.

“සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වගේම අලුතින් ආරම්භ කරන ‘ස්ටාර්ට්අප්’ ලෙසින් හඳුන්වන ව්‍යාපාර සඳහාත් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ලැයිස්ගුතවීම සඳහා මෙතෙක් පැවැති නිර්ණායක අපි ලිහිල් කර තිබෙනවා. මේ ලැයිස්තුගතවීම තුළින් එවැනි ව්‍යවසායන් වෙත ප්‍රාග්ධන වෙළෙඳ පොළ හරහා අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගැනීමේ ඉතා විශාල හැකියාවක් පවතිනවා.”

එසේම මෙහිදී තමන් දේශීය සමාගම් වෙත මෙන්ම විදේශීය සමාගම් වෙතත් කොළඹ කොටස් හුවමාරුව වෙත ආරාධනා කරන බවත්, දැනට පවතින වටිනාකම් ඉතාමත් හොඳ තත්ත්වයේ ඇති බවත් හෙතෙම අවසන් වශයෙන් පැවසීය.

අද වන විට කොළඹ කොටස් හුවමාරුව තුළ ලැයිස්ගතවී ඇති සමාගම් සංඛ්‍යාව 290 කට ආසන්න වෙයි.

Visits: 606