ඇට්ලස් සමාගම බැක්ටීරියා නාශක ලිපිද්‍රව්‍ය පෙළක් හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සහ විශාලතම ලිපිද්‍රව්‍ය සන්නාමය ලෙස ඇට්ලස් ඇක්සිලියා සමාගම, බැක්ටීරියා නාශක  නිෂ්පාදන පෙළක් පසුගියදා ඇරඹුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ Atlas Skills Factory පරිශ්‍රයේදී නිල වශයෙන් හඳුන්වා දීම සිදුවුණු බව පවසයි.

ශ්‍රී ලංකා නැනෝතාක්ෂණික ආයතනය (SLINTEC) සමග අත්වැල් බැඳගනිමින් ඇට්ලස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම පොත් සහ පෑන් පෙළ බැක්ටීරියා නාශක නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති  බවත්, මෙම විශේෂිත පොත් සහ පෑන් මතුපිට ඇති බැක්ටීරියා 99.9% ක් නැසීමේ හැකියාවෙන් යුතු බවට තහවුරු කර ඇතැයිද ඇට්ලස් ඇක්සිලියා සමාගම පවසයි.

මෙම නිෂ්පාදන පෙළ හඳුන්වා දීම පිළිබඳ අදහස් පළ කරමින් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා, “SLINTEC ආයතනය සමග එක්වෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බැක්ටීරියා නාශක පොත් සහ පෑන් පෙළක් හඳුන්වා දීමට අප කටයුතු කළා. මෙම නිෂ්පාදනවල මතුපිට 99.9% ක් බැක්ටීරියාවලින් තොර බවට තහවුරු කර ඇති නිසා, දරුවන් පාසලේදී ලිපිද්‍රව්‍ය හුවමාරු කරගැනීමේදී බැක්ටීරියා කාරක රෝග බෝවීමෙන් වළක්වා ගැනීමට හැකි වෙනවා.” යනුවෙන් සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන SLINTEC ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමින්ද ජයවීර මහතා, “ඇට්ලස් සමාගම සමග අත්වැල් බැඳගනිමින් එම නිෂ්පාදන සඳහා නවත ම බැක්ටීරියා නාශක වැස්මක් නිර්මාණය කිරීමට හැකි වීම පිළිබඳ අප ආඩම්බර වනවා. මෙම ව්‍යාපෘතියේ වාණිජකරණ අංශය දියත් කිරීමට කටයුතු කළ ඇට්ලස් කණ්ඩායමටත්, මෙම වැස්ම නිර්මාණය කළ ආචාර්ය සංජීව, ආචාර්ය ඉඳුනිල් හා සහන ඇතුළු කණ්ඩායමටත් මාගේ හෘදයංගම ස්තූතිය පිරිනමනවා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 123