හොරණ අපනයන සැකසුම් කලාපයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන හොරන අපනයන සැකසුම් කලාපයේ නව පරිපාලන ගොඩනැගිල්ල එහි අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත විය. රුපියල් මිලියන 46ක මුදලක් යොදවා මෙම ගොඩනැගිල්ල ඉදිකරවා ඇතැයි ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. මෙම අවස්ථාව සඳහා එම මණ්ඩලයේ ප්‍රධානීන් මෙන්ම ආයෝජකයන් විශාල පිරිසක්ද සහභාගි වූ බවද එම මණ්ඩලය පවසයි.

මෙහිදී අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා, “අපගේ ප්‍රධාන අභියෝගය වන්නේ ඉදිරි වසර 10දී රටෙහි දළ ජාතික නිෂ්පාදනය 6% ක මට්ටමේ පවත්වාගෙන යාමයි. එතැනදී විදේශීය ආයෝජනයන් ආකර්ෂණය කරගනිමින් රටෙහි ආර්ථිකය ඉහළ නැංවීම ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්ය භාරයයි. ඒ සඳහා ආයෝජකයන්ට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සිදු කළ යුතුයි. ඒ හරහා තවත් ශක්මත් අයෝජන පරිසරයක් රට තුළ ගොඩනැගේවි. එතැනදී අප ප්‍රතික්‍රියාශීලීවීමට වඩා ක්‍රියාශීලීවීම වැදගත්.”  යනුවෙන් පවසා තිබේ.

එසේම රට තුළ ඖෂධ නිෂ්පාදනය, කෘෂිකාර්මික සැකසුම්, තොරතුරු තාක්ෂණය, ජලජීවී වගාව සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන යනාදී ක්ෂේත්‍ර වෙත ආයෝජන ගෙන්වා ගැනීමටත් කටයුතු යොදා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙහිදී සඳහන් කර තිබේ. ඒ අනුව  රටෙහි ආයෝජක ප්‍රජාව වෙත වඩා වැඩි කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කර ඇත.

මෙම අවස්ථාව සඳහා සීමාසහිත HDDS (පෞද්) සමාගමේ සභාපති එච්.ඩී.ඩී. සිල්වා මහතා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ එම්.කේ.ඩී. ලෝරන්ස්, එහි ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව තිලක්කුමාර යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

1999 වසරේදී පිහිටවුණු හොරණ අපනයන සැකසුම් කලාපය තුළ සමස්ත භූමි ප්‍රමාණය අක්කර 390 කි. ඉන් අක්කර 181ක් කර්මාන්ත භූමියක් ලෙස ක්‍රියාත්මක වෙයි. එහිදී කලාපය තුළ ඇති ජලය, අපජල සැකසුම් සහ විදුලි බලය යනාදී යටිතල පහසුකම් ආයෝජකයන් ඒ වෙත ආකර්ෂණය සඳහා හේතු වී ඇතැයිද ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

මෙම කලාපය තුළ ක්‍රියාත්මක ව්‍යාපාර හරහා ඍජු රැකියා අවස්ථා 3375ක් ලබා දී ඇති අතර වක්‍ර රැකියා ප්‍රමාණය එහි දෙගුණයක් බවත් පැවසෙයි. 2019 වසරේදී හොරණ අපනයන සැකසුම් කලාපය හරහා ලැබුණු අපනයන ආදායම රුපියල් මිලියන 8,632 කි.

මේ වනවිට සමාගම් 21ක් මෙම හොරණ අපනයන සැකසුම් කලාපයේ මෙහෙයුම් සිදු කරන අතර ඇගලුම් සහ ඊට අදාළ ද්‍රව්‍ය, ආහාර, ලී, පාරිභෝගික, ලෝහ සහ ඇලුමිනියම් මෙන්ම ප්ලාස්ටික් නිෂ්පාදනද ඒ අතර වන බවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටියි.

Visits: 126