රට පුරා කළපු සංවර්ධනයට නොර්වේ සහාය

රට පුරා ඇති කළපු සංවර්ධනයට නෝර්වේ රජය සහාය ලබා දීමට කැමැති බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී රයින්ජොනාලි ඇස්කෙන්ඩල් මහත්මිය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත පවසා ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

පසුගියදා නෝර්වේ තානාපතිනිය එම අමාත්‍යාංශය පරිශ්‍රයේදී ඇමතිවරයා හමුවී සිදු කළ සාකච්ඡාවකදී මේ කරුණු පවසා ඇත.

විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ඇතුළු රටපුරා ඇති කළපු සහ ඒ අවට ජල පෝෂක ප්‍රදේශ වල  ජලජීවී වගා සංවර්ධනය හා මිරිදිය මසුන් ඇති කිරීම පිළිබදව නොර්වේ රජයේ සහාය අප බලාපොරොත්තු වන බව ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී නොර්වේ තානාපතිනිය වෙත සිදු කළ දැනුම් දීමේ ප ප්‍රතිඵලයක් ලෙස මෙම සහාය හිමිව තිබේ.

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පසුගිය කාලයේ නොර්වේ රජයේ ආරාධනයෙන් එරට සංචාරයක නිරත වු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම් නියෝජිතයන් සමග තමන්ද සහභාගී වු බවත්, ජලජීවී වගාව නවීන තාක්ෂණ ක්‍රම යොදාගෙන ඒ රටේ ක්‍රියාත්මක කරන බව තමන්ට එහිදී දැකගැනීමට ලැබුනු බවත් නොර්වේ තානාපතිනියට  පවසා තිබේ.

උතුරු නැගෙනහිර පළාත් ඇතුළු ලංකාව පුරා ප්‍රධාන ජල පෝෂක කලපු 92ක් තිබෙන බවත් නොර්වේ රජය මේ  පිළිබදව අවධානයට ගෙන ආර්ථික හා නවීන තාක්ෂණික අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබා දී මෙම කළපු සංවර්ධනය කිරීමට උදව් උපකාර ලබා දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් ලබා දුන් නොර්වේ තානාපතිනිය පසුගිය අවුරුදු 06ක කාලය තුලදී විශාල ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් ලංකාවේ ධීවර කටයුතු සංවර්ධන ව්‍යාපෘති වලට නෝර්වේ රජය ලබා දී ඇති බවත් අනාගතයේදී අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව ලබා දෙන ආධාර ප්‍රමාණය වැඩි කිරීමට සුදානමින් සිටින බවත් පවසා ඇත.

මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු අමාත්‍ය කාර්ය මණ්ඩල නිළධාරීන් ද සහභාගී වී තිබේ.

Visits: 42