නාමල් බාලචන්ද්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට්හි විධිමත් ඇඟලුම්හි අනුග්‍රාහකයා වෙයි

මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් (Formal) ඇඟළුම් අනුග්‍රාහකයා ලෙසින් ගිවිසුමකට එළැඹ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඉදිරි වසර 3 ක කාලයේදී ජාතික කණ්ඩායම් වල නිල විධිමත් ඇඳුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම කටයුතු කරනු ඇතැයි සඳහන් වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතාත් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ නාමල් බාලචන්ද්‍ර මහතාත් අතර මෙම අනුග්‍රාහකත්වය ලබාදීම පිළිබඳව වූ ගිවිසුම ඊයේ (සැප්තැම්බර් 23 දා) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී අත්සන් කොට හුවමාරු කර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය පවසයි.

“දෙපාර්ශ්වය අතර අත්සන් තැබුණු මෙම ගිවිසුමට අනුව ඇඟළුම් නිෂ්පාදකයකු මෙන්ම ඇඳුම් නිර්මාණ ආයතනයක් ලෙසින් ශ්‍රී ලංකාවේ කීර්තිමත් නාමයක් දිනා සිටින නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම් හි විධිමත් ඇඳුම් සපයන්නා ලෙසින් කටයුතු කරනු ඇත. ඊට අමතරව එම අනුග්‍රාහකත්වය පිරිනැමීම යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ජැකට්, කමිස සහ කළිසම් ඇතුළු අනුග්‍රාහකත්වයට අදාළ මුදල් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දෙනු ඇත.” ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය සඳහන් කරයි.

ගිවිසුම් හුවමාරු කර ගැනීමේ අවස්ථාවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා, “ක්‍රීඩාවට පමණක් නොවෙයි මුළු ලෝකයටම සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙවැනි අවස්ථාවක අපගේ නිල විධිමත් ඇඟළුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම පැමිණීම සම්බන්ධව අපි ඉතා සතුටට පත් වෙනවා” යැයි සඳහන් කර සිටි අතරම, “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට ආයතනික ලෝකයේ ඇති කැපවීම මේ හරහා පෙන්නුම් කෙරෙන බැවින් මෙම හවුල්කාරීත්වය අපි බෙහෙවින් අගය කරමු” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම යටතේ මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල විධිමත් ඇඳුම් අනුග්‍රාහකයා යන නාමය භාවිතා කිරීමට නාමල් බාලචන්ද්‍ර පෞද්ගලික සමාගමට අයිතිය හිමි වන අතරම එකී අනුග්‍රාහක පිරිනැමීමේ කාල සීමාව තුළ එහි සියළුම ලිපි ද්‍රව්‍ය, ප්‍රවර්ධන ද්‍රව්‍ය සහ වෙළෙඳ දැන්වීම් සඳහාද වූද අයිතිය හිමි වනු ඇතැයිද ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන් මගෙහි කොටසක් වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. මෙම හවුල්කාරීත්වය යටතේ අපගේ වෙළෙඳ නාමයේ වටිනාකම ඉහළ යෑමට නිසැක දායකත්වයක් ලැබෙනු ඇති බව අපි දනිමු” යැයි අනුග්‍රාහකත්වය පිරිනැමීමට ඉදිරියට පැමිණීම පිළිබඳව නාමල් බාලචන්ද්‍ර පෞද්ගලික සමාගමේ සභාපති නාමල් බාලචන්ද්‍ර මහතා පවසා තිබේ.

Visits: 60