දුරකතන ජාල මගින් අලෙවි කරන රක්ෂණ ඔප්පු ගැන නිවේදනයක්

ජංගම/ස්ථාවර දුරකතන ජාල ක්‍රියාකරුවන් හරහා අලෙවි කරනු ලබන රක්ෂණ ඔප්පුවලට අදාළව ඕනෑම පැමිණිලි හෝ අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස එම කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව රක්ෂණ ඔප්පු හිමියන් හෝ රක්ෂණයේ යෙදෙන මහජනතාව හෝ රක්ෂණය සම්බන්ධ බැඳියාවක් ඇති වෙනත් ඕනෑම අයෙකුට මෙම පැමිණිලි/අදහස් ඉදිරිපත් කළ  හැකි බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

ඩයලොග් ආසිආටා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ස්ථාවර දුරකන සමාගම මෙලෙස සිය දුරකතන ජාල හරහා රක්ෂණ සැලසුම් අලෙවි කිරීමේ නිරත වෙයි. එහිදී දෛනිකව  එම සමාගම් දුරකතන පාරිභෝගිකයාගෙන් ගාස්තුවක් අය කරගනී. එහෙත් දැනට මෙම සමාගම් හරහා රක්ෂණ සැලසුම් මිලදී ගත් ඇතැම් පිරිස් වෙතින් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව වැඩිවීම රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෙම තීරණයට පිවිසීමට හේතු වී  තිබේ.

විශේෂයෙන්ම මෙවැනි රක්ෂණ සැලසුම් අලෙවි කිරීමේදී දුරකතන සේවා ජාලය හරහා එවැන්නක් අලෙවි නොකරන බවත්, මෙරට ලියාපදිංචි රක්ෂණ සමාගමක් හරහා එය සිදු කරන බවත් කොමිෂන් සභාව සඳහන් කරයි. එහෙත් මෙම අවස්ථාවේදී රක්ෂණ සමාගමට වඩා එහි අතරමැදි පහසුකම් සලසන්නා ලෙස සිටින දුරකතන සමාගම ඉස්මතු වීම හරහා පාරිභෝගිකයන් තුළ ගැටලු රැසක්ම පැනනැගී තිබේ. රක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීම ඇතුළු කාරණාද ඒ අතර වන බව පැවසෙයි.

ඒ අනුව මෙම ගැටලු නිරාකරණය කරගනිමින්, ඉහත සඳහන් කළ දුරකතන සමාගම්වලට අමතරව රක්ෂණ නියාමන කොමිෂන් සභාව දැනුවත් කිරීමකින් තොරව රක්ෂණ සමාගම් මගින් අනෙකුත් දුරකතන සමාගම් හා සම්බන්ධවී සිදු කරන රක්ෂණ සැලසුම් වේ නම් ඒ පිළිබඳවද ජනතාවගෙන් තොරතුරු ලබා ගැනීම මෙහි අරමුණ වී ඇත.

එහිදී මෙම කරුණු පිළිබඳව පැමිණි/අදහස්/තොරතුරු ඒවා ඉදිරිපත් කරන්නා සම්බන්ධ කරගත  හැකි තොරතුරුද සහිතව 2020 ඔක්තෝබර් 14 දිනට හෝ පෙර ලියාපදිංචි තැපෑල/විද්‍යුත් තැපෑල/ෆැක්ස් ගමගින් එවිය හැකිය.

ඒ අනුව 11 වන මහල, නැගෙනහිර කුලුණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන, කොළඹ 01 ලිපිනයේ ‘සභාපති, ජංගම රක්ෂණ උප කමිටුව’ යන නමට මෙම ලිපි ඉදිරිපත් කළ  හැකි බවත් එම කොමිෂන් සභාව පවසයි. එසේම ෆැක්ස් අංක 011 2396190, ඊ-මේල් mosubcommittee@ircsl.gov.lk වෙත ඒවා එවිය හැකිය.

මෙම කරුණ පිළිබඳව ඕනෑම පැහැදිලි කරගැනීමක් සඳහා දුරකතන අංක 011 2396184-9 අමතා වෙළෙඳ පොළ සංවර්ධන හා බාහිර සම්බන්ධතා ඒකකය ඇමතිය හැකි බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද ව්‍යවස්ථාපිත අධිකාරියකි. එමගින් රක්ෂණ ඔප්පු හිමියන් හා අනාගත රක්ෂණ ඔප්පු හිමියන්ගේ බැඳියාවන් ආරක්ෂා කිරීමේ අරමුණෙන් රක්ෂණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට, අධීක්ෂණය කිරීමට හා නියාමනය කිරීමට පිහිටුවා තිබේ.

Visits: 261