ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් ඒකාබද්ධවීමට සූදානමින්

ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම (Trade Finance and Investments PLC) සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (Commercial Credit and Finance PLC) සමාගම ඒකාබද්ධ වීම සඳහා කටයුතු සූදානම් වී ඇතැයි එම සමාගම් දෙක අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී සිටියි.

මෙම ඒකාබද්ධවීමට අදාළ යෝජනාව 2020 ජනවාරි 21 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව මගින්ද අනුමත කර තිබේ. එසේම ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් ඊයේ (2020 සැප්තැම්බර් 23දා) මෙම ඒකාබද්ධවීම අනුමත කර ඇත.

ජේ.එල්. මොරිසන් ඇන්ඩ් සන්ස් ලිමිටඩ් සමාගම මගින් 1978 ජනවාරි 05 වැනිදා ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම පිහිටුවා තිබේ. පසුව 1990 දී ජෙට්වින්ග් සමූහය මගින් එම සමාගමේ 93%ක කොටස් ප්‍රමාණයත් අත්පත් කරගෙන ඇත.

අනතුරුව 2014 වසරේදී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම විසින් ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම අත්පත් කරගැනීමෙන් අනතුරුව එහි පාලිත සමාගමක් ලෙස ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් මෙම ඒකාබද්ධවීම අදාළ සමාගම් දෙකෙහිම කොටස්හිමිකරුවන් වෙත දැන්වීමක් සිදුවිය යුතුවන බවත් 2007 අංක 07 දරන සමාගම් පනතේ 241(5) වගන්තිය යටතේ ඒ පිළිබඳව කටයුතු සිදු වන බවත් සඳහන් වෙයි. එහිදී විශේෂිත මහා සමුළුවක් පැවැත්වීම හරහා කොටස්හිමිකරුවන්ගෙන් මේ පිළිබඳව කරුණු විමසීමට කටයුතු යොදන බවත්, එහිදී සිදු කරගන්නා සම්මත කරගැනීමක් හරහා ඉහත සඳහන් කළ ඒකාබද්ධවීම සිදු වන බවත් පැවසෙයි.

අද වනවිට ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ සාමාන්‍ය කොටස් අතරින් 99.65%ක ප්‍රමාණයක් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම විසින් දරන අතර සිදුවන ඒකාබද්ධවිමක් හරහා එම කොටස් අවලංගුවීමක් සිදුවීමට නියමිතව ඇත.

එසේම  ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ අනෙකුත් කොටස්හිමිකරුවන් වෙත කොටසකට රුපියල් 60.00ක් බැගින් ගෙවිමක්ද සිදු වෙනු ඇති බවත් සඳහන් වෙයි.

කෙසේ වෙතත් මෙහිදී කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් හිමිකරුවන් වෙත මෙය අදාළ නොවන බවත් පැවසෙයි. මීට අමතරව අදාළ ඒකාබද්ධවීම ක්‍රියාත්මක වීමෙන් පසුව වුවත් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම මගින් නිකුත් කර ඇති කොටස් ප්‍රමාණයේ වෙනසක් සිදු නොවන බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

Visits: 580