SCE හා CSE පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට

කොළඹ කොටස් හුවමාරුව වෙත ඩිජිටල්කරණ ක්‍රමවේද හඳුන්වාදීමේ වැඩපිළිවෙළේ තවත් එක් අවස්ථාවක් ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමකට පිවිසීමට කටයුතු යෙදුණු බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SCE) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) පවසයි.

එහිදී ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක යන මහත්වරුන් අතර සිදු විය.

විශේෂයෙන්ම අලුතින් හඳුන්වාදුන් කොළඹ කොටස් හුවමාරුවේ ජංගම දුරකතන ඩිජිටල් ඇප් වැඩසටහන හරහා යමෙකු මධ්‍යම තැන්පතු (CDS) ගිණුමක් විවෘත කිරීමට යාමේදී අදාළ තැනැත්තාගේ අනන්‍යතාව පිළිබඳව සහතිකයක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය පිළිබඳව තොරතුරු ලබා ගැනීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වී තිබේ.

අගමැති/මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය සැප්තැම්බර් 17 වැනිදා කොළඹ කොටස් හුවමාරුව වෙත මෙම ඩිජිටල් ක්‍රමවේද හඳුන්වාදීම සිදු විය.

මෙහිදී ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) හරහා මෙම හැඳුනුම්පත් අංකය දරන්නා පිළිබඳව ඩිජිටල් සත්‍යතා විමසීමක් සිදු කරන බවත් පැවසෙයි.

මෙලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා මෙවැනි සත්‍යතා විමසීමක් සිදු කෙරෙන පළමු අවස්ථාව මෙය බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහන් කරයි. එහිදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ ඇති ප්‍රතිපාදන මෙන්ම 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික හුවමාරු පනතේ රෙගුලාසි අනුව මෙය සිදු වන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාව සඳහා කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික දිල්ෂාන් වීරසේකර, කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජයන්ත ප්‍රනාන්දු,  සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න, එහි අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් සහ කොළඹ කොටස් හුවමාරුවේ සාමාජික නරේෂ් අබේසේකර යන මහත්වරුන් සහභාගි වී සිටියහ.

Visits: 294