අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුතු සුහුරු තාක්ෂණවේදීන් නිර්මාණය ප්‍රමුඛ අවශ්‍යතාවක් – ජනපති පවසයි

දේශීය සහ ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් “සුහුරු තාක්ෂණවේදීන් ” (Smart Technocrats) නිර්මාණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට සුදුසු පරිසරය රට තුළ නිර්මාණය කරන බවද ඒ මහතා සඳහන් කරයි.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පවසා තිබේ.

ඒ අනුව සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත්, අසමත් සියලු දෙනාටම තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙළ කෙටි කාලයකදී ඇරඹිය යුතුව ඇතැයිද ඒ මහතා මෙහිදී අවධාරණය කර ඇත.

“ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිරීම වැදගත්. එතැනදී කලා විෂයන් හැදෑරූ සිසුන්ට තොරතුරු තාක්ෂණය, හෙද සහ කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසකින් හැකියාවන් වර්ධනය කර ගන්නට පුළුවන්.” යනුවෙන් ජනපතිවරයා සඳහන් කර තිබේ.

ඒ සඳහා පර්යේෂණ දිරි ගැන්වීමට රජයක් ලෙස සෑම සහයක්ම දෙන බව ජනාධිපතිතුමා සඳහන් කර තිබේ. එසේම විශ්ව විද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන සහ කාර්මික විද්‍යාලවල පාඨමාලා සහ විෂය නිර්දේශ නූතයට ගැළපෙන පරිදි හඳුන්වාදීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරී ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර, උසස් අධ්‍යාපන පනත සංශෝධනයෙන් ආයතනික සහ විෂය නිර්දේශ සම්බන්ධයෙන් පවතින ගැටළු රැසකට විසඳුම් දිය හැකි යැයි විශේෂඥයෝ ජනපතිවරයාට පෙන්වා දී ඇත. එසේම තාක්ෂණ විෂයන්ට අදාළ ආචාර්යවරු සහ උපදේශකවරු බඳවා ගැනීමේදී පහළ මට්ටමක පවතින වැටුප් පරිමාවන් දැඩි සේ බලපා ඇතැයි ආයතන ප්‍රධානීහු මෙහිදී සඳහන් කර තිබේ.

Visits: 56