බැංකු කොටස් මිල ගණන් පහත වැටෙද්දී ඇතැම් කුඩා සමාගම් කොටස් මිල ඉහළට

අද දිනයේ (සැප්තැම්බර් 22) වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භයේ සිටම ප්‍රධාන පෙළේ සමාගම්හි කොටස් වටිනාකම් යම් අඩුවීමක් පෙන්නුම් කිරීමත් සමගින්ම ආයෝජකයන් අඩු වටිනාකම් සහිත කොටස් පිළිබඳ වැඩි උනන්දුවක් දැක් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම ඊයේ මෙන් අද දිනයේදීද බැංකු සතු කොටස් වටිනාකම් සුළු අගයන්ගෙන් පහත වැටුණු අතර ඇතැම් කුඩා සමාගම්හි කොටස් වටිනාකම් ඉහළ යාමක් සිදුව තිබේ. එහෙත් මෙම මිල ගණන් ඉහළ යාම් සමස්ත කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා කැපීපෙනෙන දායකත්වයක් ලබාදුන් බවත් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදීත් සමස්ත කොටස් දර්ශකය ඊයේ දිනයට සාපේක්ෂව ධන අගයක් ගත් අතර, ස්ටෑන්ඩර් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ඊයේ දිනයට සාපේක්ෂව තවදුරටත් ඍණ අගයකට පත්විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,764.29 ත් ඒකක 5,804.03 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,780.94ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (සැප්තැම්බර් 21) දිනයට සාපේක්ෂව එය ඒකක 18.23 ක් එනම් 0.32%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව කළ ගනුදෙනු ලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, හැටන් නැෂනල් බැංකුව සහ සම්පත් බැංකුව යන සමාගම් සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 5%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 104ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 93ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ, එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+21.3),  හේලීස් පීඑල්සී HAYL (+4.33), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+2.39), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (+2.34), ඩයලොග් ආසිආටා පීඑල්සී DIAL (+1.87), ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (-4.19), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.31),  කොමර්ෂල් බැංකුව COMB (-2.72), එල්ඕඑල්සී පීඑල්සී LOLC (-2.62)  සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් JKH (-2.12යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,492.35 ක අගයක් ගත් අතර, එය පසුගිය ඊයේ (සැප්තැම්බර් 21) දිනයට සාපේක්ෂව ඒකක 19.37 ක එනම් 0.77%ක  පහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.53ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ වාර්තා කළ රුපියල් බිලියන 3.52 ට සාපේක්ෂව 28%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.51 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 11.88%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 90.4ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 199.4ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 109 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 37.53ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කැලනි ටයර්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 7.9කි. එසේම හැටන් නැෂනල් බැංකුව විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 34.8ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 757ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 30% ක අගයක් ගෙන තිබේ. එසේම බැංකු අංශය සහ  නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 433ක සහ රුපියල් මිලියන 290ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 372