රදැල්ල සමූහ ව්‍යාපාරයේ මූලිකත්වයෙන් ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඉදිවෙයි

දියවැඩියාව සඳහා ලබාදෙන ඉන්සියූලීන් ඖෂධය ඇතුළු තවත් ඖෂධ 33ක් නිෂ්පාදනය කිරීම සඳහා වන කර්මාන්තශාලාවක ඉදිකිරීම් පසුගියදා කොග්ගල අපනයන සැකසුම් කලාපයේදී ආරම්භ විය.

රදැල්ල සමූහ ව්‍යාපාරයේ හා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්තශාලාව ඉදි කෙරේ. එහි ආයෝජනය රුපියල් බිලියන 3.5ක් පමණ වෙයි. වසර දෙකක් තුළ මෙහි නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිත බව සමාගම පවසයි.

කර්මාන්ත ශාලාව ඉදිකර සිය නිෂ්පාදන ඇරඹීමත් සමග වෙළෙඳපොලේ ඇති වටිනාකමින් 1/3ක මිලකට ඖෂධ සැපයීමට හැකිවන බව නව සමාගම කියයි. ඒ අනුව ඖෂධ සඳහා වසරකට පිටරටට ඇදීයන ඩොලර් මිලියන 10ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද වනවිට පෞද්ගලික හා රාජ්‍ය අංශය යන දෙපිරිසම හරහාම ඉන්සියුලින් ආනයනය සඳහා වසරකට රුපියල් මිලියන 3,300ක් පමණ මුදලක් වැය වෙන බව සඳහන් වෙයි.  එහිදී ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, වැනි රටවලින් මෙම ඉන්සියුලින් ආනයනය කරයි. ඒ අනුව මෙවැනි කර්මාන්තශාලාවක් ඇරඹීමට රදැල්ල සමූහ ව්‍යාපාරය කටයුතු යෙදීම වැදගත් අවස්ථාවක් වී තිබේ.

මෙම මුල්ගල් තැබීමේ අවස්ථාව සඳහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ, ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය  ඇමති පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, රදැල්ල සමූහ ව්‍යාපාරයේ සභාපති නිහාල් රදැල්ල, ප්‍රධාන විධායක තුෂිර රදැල්ල යන මහත්ම මහත්මීන් සහභාගි වී ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, මෙරට නව ආයෝජන සඳහා අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප්‍රමුඛතාව ලබාදෙන බව පවසා තිබේ. එසේම ඖෂධ නිෂ්පාදනය සඳහා මෙරටට පැමිණෙන ආයෝජකයන්ට විශේෂ සහන ලබාදීමටද අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කර තිබේ.

“ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රට තුල නිෂ්පාදනය කල හැකි සියලුම ඖෂධ නිෂ්පාදනය කිරීම රජයේ අරමුණයි. මේ වැඩසටහනේ අවසාන ඉලක්කය තමයි තත්වයෙන් බාල ඖෂධ ලංකාවට  ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීම. ඒ සඳහා අප මුලින්ම කල යුත්තේ රටට අවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනය කර ගැනීමයි. මේ වනවිට රටට අවශ්‍ය බෙහෙත් ගෙන්වීම සඳහා වැය වන මුදල වාර්ෂිකව රුපියල් බිලියන 130ක්. එය රට තුල ඉතිරි කර ගැනීමයි අපේ බලාපොරොත්තුවයි.” අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, “කලාපයේ මැදි ආදායම් රටක් වශයෙන් තිබෙන අපේ රට ඉහල ආදායම් ලබන රටක් බවට පත් කිරීම තමයි රජයේ ඉලක්කය. මේ වසර 05 තුල එය අපට ඉටුකර ගැනීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. 1977න් පස්සේ මේ රටේ ඇතිවුණු විවෘත ආර්ථිකයේ අඩුපාඩු හදාගන්න කටයුතු කරමින් සිටින වකවානුවක් මේ. අපනයන ප්‍රවර්ධනය  දේශීය නිෂ්පාදනය දියුණු කිරීම රජයේ ප්‍රමුඛ  කාර්යයක් ලෙස අපි හදුනාගෙන තිබෙනවා.” යනුවෙන් පවසා ඇත.

ඖෂධ නිෂ්පාදන නියාමන හා සැපයුම් රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා අදහස් දක්වමින්, “මාස 48කින් රටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීම තමයි ජනාධිපතිතුමා අපිට දීපු ඉලක්කය.අපි බෙහෙත් ආනයනයට වැය කරනවා අවුරුද්දකට බිලියන 130ක්. ඒ කියන්නේ කෝටි 1300ක්. මාස 36ක් යනවිට අඩුම තරමෙන් මේ මුදලින් භාගයක්වත් රට තුල ඉතුරු කර ගැනීම තමයි අපේ අපේක්ෂාව. මාස 48ක් යනවිට අපි සම්පූර්ණයෙන්ම මේ මුදල ඉතුරු කර ගන්න බෙහෙත් නිෂ්පාදනය රට තුල අරඹනවා. ඖෂධ නිපදවීම වෙනුවෙන් මේ රටේ ආරම්භ වුණ පලමු කර්මාන්ත ශාලාව මෙයයි.” යනුවෙන් පවසා තිබේ.

Visits: 159