රටෙහි සෑම පුරවැසියෙකුටම කොටස් හුවමාරුව හරහා අතමිට සරු කරගැනීමට අවස්ථාව ලබා දීම අපේ මූලික අරමුණයි – CSE සභාපති දුමිත් ප්‍රනාන්දු

කොටස් හුවමාරුව හරහා මෙරට ව්‍යාපාර වෙත දිගුකාලීන ප්‍රාග්ධන අවශ්‍යතා සලසා දීම මෙන්ම මෙරට වෙසෙන සෑම පුරවැසියෙකුටම සිය අතමිට සරු කරගැනීමට අවස්ථාව ලබා දීම සිය අරමුණ බව කොළඹ කොටස් හුවමරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා පවසයි.

පසුගියදා පැවැත්වුණු කොළඹ කොටස් හුවමාරුවේ කටයුතු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීමේ සමාරම්භක වැඩසටහනේදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සභාපතිවරයා, “අපි මෙතැනදී ජනතාවට ගනුදෙනු සහ තැන්පතු සේවා සිදු කිරිම සඳහා වඩාත් විශ්වාසදායී ස්ථානයක් බවට මේ කොළඹ කොටස් හුවමාරුව පත් කරනවා.”

මෙලෙස කොළඹ කොටස්  හුවමාරුව හරහා සෑම පුරවැසියෙකුගේම අතමිට සරු කිරීම ප්‍රධාන කොට ගෙන සැලකීමේදී මූලිකවම අවධානය යොමු කළ යුතු කරුණු තුනක් පවතින බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

“එතැනදී පළමු වැන්න තමයි ජනතාවට කොටස් හුවමාරුව පිළිබඳව ඉගෙන ගැනීමට සහ ඒ වෙත ප්‍රවිශ්ට වීම වඩාත් පහසු කරවීම, දෙවැන්න තමයි කොටස් හුවමාරුව හරහා සිදු වන ගනුදෙනු වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වීම, තෙවැන්න තමයි සියලු දෙනාටම මේ ගනුදෙනු සිදු කිරිමට හැකි ලෙස ඒ සඳහා වන මිල ගණන් අඩුවීම. කොළඹ කොටස් හුවමාරුවේ සිදුවන මේ ඩිජිටල්කරණය කියන්නේ සැබැවින්ම මේ කාරණායි.”

ඒ අනුව අලුතින් නිකුත් කෙරුණු කොළඹ කොටස් හුවමාරුවේ ඩිජිටල් ඇප් වැඩසටහන භාවිතා කරන්නන්ට ඒ හරහා විනාඩි ගණනක් තුළදී මධ්‍යම තැන්පතු ගිණුමක් (CDS Account) විවෘත කිරිමේ  හැකියාව ඇතැයි සභාපතිවරයා මෙහිදී පවසා සිටියේය. එහිදී පැය කිහිපයක් ඇතුළතදී ගනුදෙනු කිරීමේ හැකියාව ඔවුන්ට ලැබේ. ඒ අනුව මෙය සුවිශේෂී අවස්ථාවක් වන බව කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

“මීට අමතරව අද දිනයේ සිට ගනුදෙනු ස්ථිර කිරීමේ ලිපි සහ ගනුදෙනු පිළිබඳ ලිපි සියල්ල අන්තර්ජාලය  හරහා හුවමාරු කිරීමේ  හැකියාව පවතිනවා. මේ වසර මුලදී ක්‍රියාත්මක වුණු ලොක්ඩවුන් සීමා අවස්ථාවේදී අප මුහුණ දුන් ගැටලුවලට එය පිළියමක් බවට පත්වෙනවා.”

එසේම අලුතින් එළිදැක්වුණු කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවිය, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ වෙබ් අඩවිය, කොළඹ කොටස් හුවමාරුවේ ඇප් වැඩසටහන මෙන්ම යූටියුබ් නාලිකාව හරහාද කොටස් නිකුත් කරන්නන් මෙන්ම කොටස් මිලදී ගන්නන්ද දැනුවත් කිරීමට යොදා ගන්නා බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Visits: 357