මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සමගින් HSBC කොටස් වටිනාකම් පහළ බසී

හොංකොං ෂැන්ංහයි බැන්ක් කෝපරේෂන් හෙවත්  HSBCබැංකුව (HSBC Holdings Plc)1995 වසරෙන් පසුව වාර්තා කළ අඩුම කොටස් වටිනාකම් අගයට අද දිනයේදී පත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. බැංකුවට එරෙහිව එල්ල වූ මුදල් විශුද්ධිකරණ චෝදනා මේ සඳහා මූලිකවම හේතු වූ බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අද දිනය ආරම්භයේදී හොංකොං කොටස් වෙළෙඳ පොළ තුළ HSBC බැංකුවේ කොටස් වටිනාකම හොංකොං ඩොලර් 29.60ක් දක්වා 5% ක පමණ අගයකින් පහත වැටී තිබේ. එසේම බැංකුවේ මූලස්ථානය පිහිටි ලන්ඩන් නුවර කොටස් වෙළෙඳ පොළ තුළද එහි කොටස් වටිනාකම් 6%ක අවප්‍රමාණයවීමක් පෙන්නුම් කර ඇත.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය ( International Consortium of Investigative Journalists)  මගින් HSBC බැංකුව ලොව වඩාත් බලගතු සහ භයංකාර පිරිසගේ මුදල්වලින් ලාභ අත්පත් කරගනිමින් සිටින බවට පසුගියදා සිදු කරන ලද අනාවරණය මෙම කොටස් වටිනාකම් දරුණු ලෙස කඩා වැටීමට ආසන්නතම හේතුව ලෙස සැලකෙයි.

එසේම චීනය තුළ ව්‍යාපාර කටයුතු සිදු කිරිම හේතුවෙන් යම් සිමා කිරීම්වලට ලක්විය හැකි සමාගම් ලැයිස්තුව වෙතද HSBC බැංකුව ඇතුළත් විය හැකි බවට චීන රජයේ මාධ්‍ය සිදු කළ නම් කිරීමත් මෙලෙස කොටස් වටිනාකම් පහත වැටීමට හේතුව වී තිබේ.

අද වනවිට ලොව පුරා රටවල් සහ ප්‍රදේශ 64ක් පුරා ව්‍යාප්තව පවතින HSBC බැංකුව මිලියන 40කට අධික පාරිභෝගිකයන් පිරිසකට පහසුකම් සලසයි. එසේම ලොව පුරා රටවල් සහ ප්‍රදේශ 130ක කොටස්හිමිකරුවන් 197,000ක් සමාගම සතුය.

Visits: 187