“කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය රටේ කොඳුනාරටියයි” – අගමැති මහින්ද රාජපක්ෂ

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති  “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය – 2020” සඳහා එක්වෙමින් අගමැතිවරයා ඊයේ මෙම අදහස් පළ කර තිබේ.

‘නව ආර්ථිකය තුළ මුදල් කළමනාකරණය, බැංකු අරමුදල් සැපයීම සහ ව්‍යවසායක නායකත්වය සම්බන්ධයෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද මුහුණපාන අභියෝගවලට මුහුණදීම පිණිස විසඳුම්’ යන මැයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වී තිබේ.

මෙහිදී අදහස් දක්වා ඇති අගමැතිවරයා, “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද අපේ රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. එය, අප රටෙහි සෑම අංශයකම නියෝජනය වීම සතුටක්. අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 52ක් සඳහා එම අංශය දායක වෙනවා. සමස්ත රැකියාවන්ගෙන් සියයට 45ක් ඊට අයත්. එසේම, එම අංශය, දිවයිනේ මුළු ව්‍යවසායක සංඛ්‍යාවෙන් සියයට 75 කින් සමන්විතයි.” යනුවෙන් පවසා ඇත.

කොවිඩ්-19 බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස පසුගිය කෙටි කාලය තුළ සහනදායී ණය පොලී අනුපාත හඳුන්වා දෙමින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ ණය ඇපකර සපුරාදීමට හැකි වූ බවද අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

“වෘත්තීය ආයතන, වාණිජ මණ්ඩල, වාණිජ බැංකු සහකර්මාන්ත පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත මෙම ආයතනයේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුව පිහිටුවීම, ඉතා කාලෝචිත ක්‍රියාවක්. එය, ඇත්ත වශයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට කරනු ලබන වැදගත් සේවාවක්.”  

සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා විසින් කොවිඩ් – 19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය යෝජනාවලිය අගමැතිවරයා වෙත භාරදීමද මෙම අවස්ථාවේදී සිදුව ඇත.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ණය ඇපකර ආයතනයක් පිහිටුවීම, ආදායම් බදු සහන ලබාදීම, කම්කරු නීති සංශෝධනය සහ අපනයනය සඳහා අවශ්‍ය ආයතනයක් පිහිටුවීම යනාදී කරුණු මෙම යෝජනාවලියට ඇතුළත් වෙයි.

“කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් මගින් කෙරෙන අපනයනවල ගෝලීය ප්‍රතිශතයේ සාමාන්‍යය සියයට 30 ක්. නමුත්, ලංකාව සම්බන්ධයෙන් එම ප්‍රතිශතය සියයට 5 ක්. එය වැඩි කිරීම සඳහා රජයක් ලෙස අප සහයෝගය දක්වන බව මේ අවස්ථාවේ  ප්‍රකාශ කිරීමට කැමතියි.” යනුවෙන්ද අගමැතිවරයා පවසා තිබේ.

එහිදී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධයෙන් අපනයන නිවසක් පිහිටුවීම මෙන්ම, විදේශ විනිමය ලබාගැනීමට අදාළ මෙම කාර්යය සඳහා දිරිගැන්වීම රජයක් ලෙස වගකීම් ඉටු කරන බවත් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි බැංකු නවයක ගනුදෙනුකරුවන් 300ක පමණ පිරිසක්ද මෙම අවස්ථාව සමගින් සම්බන්ධ වී ඇත. විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශය යටතේ, ශ්‍රී ලංකා මහා බැංකුවේ සහයෝගය ඇතිව, කොවිඩ්-19 මඟින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා රුපියල් බිලියන100ක මුදලක් ප්‍රදානයක් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවද අගමැතිවරයා පවසා තිබේ.

විශේෂයෙන්ම පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සහනදායී පොලී අනුපාත හඳුන්වා දෙමින්, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, ණයඇපකර ලබාදීම ඔස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත නගාසිටුවීමට අවශ්‍ය පියවර ගත් බවත් අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

මෙම අවස්ථාව සඳහා වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසායක ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ගුවන්සේවාහාඅපනයනකලාපසංවර්ධනරාජ්‍යඅමාත්‍ය ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, ඩී.එස්.අයි.සමාගම් සමූහයේ සම්මානිත කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ සුරේෂ් ද මෙල් මහත්වරු  හා බැංකු සහ මුල්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්  විශාල පිරිසක් එක්ව තිබේ.

Visits: 103