ඇලෙක්ස් ලොවෙල් EAP සහ බෙන් හෝල්ඩිංග්ස් හැර ගිහින්?

පසුගිය කාලසීමාවේදී දැඩි කතාබහට ලක් වූ බෙන් හෝල්ඩිංග්ස් ආයතනයේ විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ ඇලෙක්ස් ඉන්ද්‍රජිත් ලොවෙල් මහතා එම ධුරයෙන් ඉවත්ව ඇතැයි වාර්තා වෙයි. මෙරට සුප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක් වන EAP බ්‍රෝඩ්කාස්ටිං ආයතනය, බෙන්හෝල්ඩිංග්ස් සමාගම හරහා මිලදී ගැනීම සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කළ පුද්ගලයා වන්නේද ඇලෙක්ස් ලොවෙල් මහතාය.

හදිසියේම සිදුව ඇති ඔහුගේ මෙම ඉවත්වීමට හේතුව තවමත් පැහැදිලිව නැතැයි මෙම පුවත වාර්තා කරන ඩේලිඑෆ්ටී පුවත්පත පවසා සිටියි. වාර්තා පවසන ආකාරයට ඔහු බෙන්හෝල්ඩිංග්ස් සහ එහි පරිපාලිත සමාගම්වලින් ඉවත්ව ඇත්තේ පසුගිය අගෝස්තු මාසයේදීය.

මේ අතර, සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වාර්තා අනුව බෙන් හෝල්ඩිංග්ස් සමාගම ඇලෙක්ස් ලොවෙල් මහතාගේ පෞද්ගලික සමාගමකි. ඒ අනුව මේ වනවිට ඔහු එම සමාගමේ සම්පූර්ණ හිමිකාරීත්වය Pettigo Comercio International Lda, නම් පෘතුගාලයේ ලියාපදිංචි සමාගමක් වෙත අලෙවි කර තිබේ.

මෙම සමාගම සුප්‍රසිද්ධ ව්‍යාපාරික අලිරාජා සුබාෂ්කරන්ට අයත් බ්‍රිතාන්‍යයේ ලයිකා මොබයිල් ගෘප්හි ආයෝජන හස්තයක් ලෙස හඳුනාගෙන ඇත.

EAP බ්‍රෝඩ්කාස්ටිං සමාගම ලයිකා මොබයිල් සමාගම මගින් මිලදී ගැනීමේ අතරමැදියා ලෙස කටයුතු කළේද බෙන් හෝල්ඩිංග්ස් සමාගමයි. ඒ අනුව එය EAP සමූහ ව්‍යාපාරයේ (මූල්‍ය සමාගම් හැර) 60%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගෙන තිබුණි.

එහිදී සිංගප්පූරුවේ පිහිටි බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් නම් සමාගමක් හරහා මෙම ගනුදෙනුව සිදු විය. එම සමාගමේ කොටස් හිමිකාරීත්වයක්ද හිමිකාරීත්වය Pettigo Comercio International Lda නම් සමාගම වෙත හිමිව ඇත.

ඇලෙක්ස් ලොවෙල් මහතා බෙන් හෝල්ඩිංග්ස් ආයතනයට අමතරව යුනියන් බැංකුවේ සහ යූ.බී. ෆිනෑන්ස් සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. ඔහු යාපනයේ ශාන්ත පැට්‍රික්ස් කොලේජ්හි ආදි ශිෂ්‍යයෙකුද වෙයි.

EAP බ්‍රෝඩ්කාස්ටිං සමාගම සතුව රූපවාහිනි නාලිකා දෙකක් සහ ගුවන් විදුලි නාලිකා තුනක් පවතී. ලයිකා මොබයිල් සමාගම මේ වනවිට දැවැන්ත ආයෝජන රැසක් සිදු කරමින් මෙරට තවත් ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා රැසකම හිමිකාරීත්වය තමන් වෙත ලබා ගෙන තිබේ. නුදුරේදීම ඔවුන් ලංකාවේ දැවැන්තම මාධ්‍ය ජාලය පිහිටුවීමටද සූදානමින් සිටින බවත් වාර්තා පවසයි.

Visits: 283