NDB සිදු කළ රු.බි. 6.5ක ණයකර නිකුතුවට අධිඉල්ලුමක්

මෙරට කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සිව්වැනි විශාලතම බැංකුව ලෙස සැලකෙන නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව (NDB) පසුගිය සැප්තැම්බර් 17 වැනිදා නිකුත් කළ ණයකර නිකුතුව  ඉහළ ආයෝජක ආකර්ෂණයක් සමගින් කෙටි වේලාවක් තුළ අධි ඉල්ලුමකට පත් වූ බව එම බැංකුව පවසයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ මූලික මහජන නිකුතුවක් ලෙස කොටසක් රුපියල් 100 බැගින්  මෙම ණය කර නිකුත් කිරීම සිදුව තිබේ. මෙහිදී බැංකුව බාසල් III නියාමන රාමුවට අනුව වසර පහක් සඳහා රුපියල් බිලියන 6.5ක අරමුදල් සම්පාදනයක් වෙනුවෙන් මෙම ණයකර නිකුතුව සිදු කර තිබේ.

බැංකු සතු ද්‍රවශීලතා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම බාසල් III නියාමන රාමුව ක්‍රියාත්මක වෙයි. මෙම ණයකර වසර 2025 දී කල්පිරීම සිදු වෙයි. ඒ අනුව මෙම ණයකර නිකුතුව හරහා සිදුවුණු අරමුදල් ඉහළයාම තුළින් NDB බැංකුවේ ප්‍රාග්ධන හැකියාව තවදුරටත් ශක්තිමත් වූ බවත් බැංකුව පවසයි.   

ඒ අනුව මූලිකව රුපියල් බිලියන 5ක අරමුදල් සම්පාදනයක් සඳහා මෙන්ම ඉතිරි රුපියල් බිලියන 1.5 බැංකුවේ අභිමතය පරිදි සම්පාදනය කර ගැනීම වෙනුවෙන් මෙම නිකුත් කිරීම සිදු කළ බව බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති නැෂනල් ඩිවලොප්මන්ට්  බැංකුවේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා, මෙලෙස බැංකුවේ ණයකර නිකුතුව වෙත අධි ඉල්ලුමක් හිමිවීම ජනතාව සහ ආයෝජකයන් NDB බැංකුව වෙත තබා ඇති ශක්තිමත් විශ්වාසය පෙන්නුම් කරන බව පවසා තිබේ.

විශේෂයෙන්ම දශක  හතරක් පුරා බැංකුව පෙන්නුම් කර ඇති සුවිශේෂී මූල්‍ය සාර්ථකත්වයන්, පරිපාලන ක්‍රියාරාමුවන්, ස්ථායිතාව මෙන්ම විශ්වාසයද මේ සඳහා හේතු වී තිබේ.

කොවිඩ්-19 වසංගතයෙන් පසුව රටෙහි ආර්ථිකය යළිත් නැගී සිටිමින් පවතින අවස්ථාවේදී මෙලෙස ණයකර නිකුතුවක් සිදු කිරීම කැපී පෙනෙන අවස්ථාවක් බවද සෙනෙවිරත්න මහතා පවසයි. විශේෂයෙන්ම අඩු බැංකු පොළී වටපිටාවක් තුළ උපරිම ප්‍රතිලාභයක් ලැබෙන ලෙස වඩාත් විශ්වාසදායී ආයෝජනයකට ආයෝජකයන් වෙත හිමි වූ අවස්ථාවක් ලෙසද මෙය සැලකිය හැකි බවද ඔහු සඳහන් කරයි.

Visits: 375