මුහුදු කූඩැල්ලන් සැකැසුම් කර්මාන්තශාලාවක් සඳහා BOI එකඟතාවක්

අපනයනය සඳහා මුහුදු කූඩැල්ලන් සකස් කිරීමේ කර්මාන්තශාලාවක් පිහිටුවීමක් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ සීමාසහිත සුගාන්ත් සීෆුඩ් (පෞද්) සමාගම අතර ගිවිසුම්ගතවීම පසුගියදා සිදු වුණු බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.

එහිදී අදාළ එකඟතාවට අත්සන් තැබීම ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සුසන්ත රත්නායක සහ සුගාන්ත් සීෆුඩ් (පෞද්) සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ සුගන්තසීලන් අරවින්තන් යන මහත්වරුන් අතර සිදුව තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ පිහිටුවෙන මෙම කර්මාන්තශාලාව සඳහා වන මූලික ආයෝජනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1.2කි. මෙම මුහුදු කූඩැල්ලන් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර සාගර කලාපය තුළ වැඩි වශයෙන් හමුවෙයි. ලෝක වෙළෙඳ පොළෙහි මෙම මුහුදු කුඩැල්ලන් සඳහා ඉහළ වටිනාකමක්  හිමි වෙයි.

එහිදී එම මුහුදු කූඩැල්ලන් නෙලා ගැනීම සඳහා දක්ෂ කිමිදුම්කරුවන් ගේ දායකත්වය ලබා ගන්නා අතර, ඒ අනුව එම නිෂ්පාදන නියමිත ආකාරයෙන් සකස් කර අපනයනය සඳහා සැකසීම සඳහා නවීන තාක්ෂණයෙන් යුක්තව මෙම කර්මාන්තශාලාව පිහිටු වෙන බව එම සමාගම පවසයි.

මෙම නව කර්මාන්තශාලාව පිළිබඳව අදහස් දක්වන සුගාන්ත් සීෆුඩ් (පෞද්) සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ සුගන්තසීලන් මහතා, “මෙම කර්මාන්තය සඳහා රජය මගින් පනවා ඇති ප්‍රතිමාන, පාරිසරික ක්‍රමවේද, විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාර ක්‍රමවේද සහ නියමිත කාලයට නිෂ්පාදන ලබා දීම ඇතුළු කටයුතු හරහා පවත්වාගෙන යාමට කටයුතු යොදනවා. ඒ වගේම ඉදිරියේදී මෙම කර්මාන්තය තවදුරටත් ව්‍යාප්ත කරමින් මෙරට ජනතාව වෙත තවත් රැකියා අවස්ථා ලබා දීමටත් ඔවුන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමත් සමාගමේ අපේක්ෂාවයි.” යනුවෙන් පවසා තිබේ.

Visits: 107