මානව ප්‍රාග්ධන තුළින් ශ්‍රී ලංකාව ලබන ප්‍රතිලාභ ඉහළට – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ උපදින දරුවකුගේ ඵලදායි බව ඔවුනට පරිපූර්ණ අධ්‍යාපනයක් සහ පූර්ණ සෞඛ්‍යයක ප්‍රතිලාභ යටතේ ලැබිය හැකි ඵලදායී බවින්  60% ක් බව ලෝක බැංකුව පවසයි. පසුගියදා නිකුත් කරන ලද ලෝක බැංකු සමූහයේ 2020 මානව ප්‍රාග්ධන දර්ශකය  තුළ මේ කරුණු ඇතුළත්ව ඇත. ඒ අනුව වර්තමානයේ මෙම අගය  දකුණු ආසියානු කලාපයේ සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල සාමාන්‍යය හා සසඳන විට එකී රටවල් වලට වඩා ඉහළ අගයක් ගන්නා බව ලෝක බැංකුව පවසයි.

දරුවෙකුගේ ඵලදායීතාවය වැඩිකිරීමට සහ රටක ආර්ථික වර්ධනය වැඩිදියුණු කිරීමට මානව ප්‍රාග්ධන ආයෝජනය (දැනුම, කුසලතා සහ සෞඛ්‍යය) වැදගත් වන බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂක ෆාරිස් එච්. හදාඩ්-සර්වෝස් මහතා, “COVID-19 වසංගතයේ පැතිරීමත් සමඟ, ජනතාවගේ සුබසිද්ධිය සඳහා ආයෝජනය කිරීම කවරදාටත් වඩා වැදගත් වී තිබේ. එසේ ආයෝජනය කිරීම රටක අනාගත ආර්ථික වර්ධනයට අවශ්‍ය ශක්තිමත් අඩිතාලම බවටත් පත් වෙනවා.” යනුවෙන් පවසා සිටියි.

“අවම පෝෂණය නිසා දරුවන්ගේ වර්ධනය සීමා වීම සහ ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපනයක අවශ්‍යතාව යන අංශ දෙකෙන් ප්‍රගතියක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන් ඉහළ මධ්‍යම ආදායම් මට්ටමට ආසන්නයේ ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට මානව ප්‍රාග්ධන දර්ශකයේ මෙකී අංශ දෙකෙන් ප්‍රගතියක් අත්පත් කරගැනීමට අවකාශ තිබෙනවා.  යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම හිඩැස් පියවා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ අඩු සංවර්ධනයක් සහිත කලාපවල පෝෂණය වැඩි දියුණු කිරීම, සහ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය වන අතර, ප්‍රතිපත්ති සංවර්ධනය හා කාලයත් සමඟ මානව ප්‍රාග්ධන සංවර්ධනයේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ මිනුමක් ද අවශ්‍යව ඇතැයිද ලෝක බැංකුව  පවසයි.

“ගෝලීය වශයෙන්, වසංගතයේ බලපෑම හේතුවෙන් ළමුන් බිලියනයකට වැඩි ප්‍රමාණයක් පාසල් යෑමෙන් වැළකී සිට ඇති අතර, සාමාන්‍යයක් වශයෙන් ගත්කල ඔවුන් ගේ පාසල් අධ්‍යාපනය කාලයෙන් අඩ වසරක් පමණ අහිමිව ඇත. මෙම තත්වය  අනාගතයේ දී සැලකිය යුතු මූල්‍ය පාඩුවක් බවට ද  පරිවර්තනය විය හැකිය. තවද කාන්තාවන් සහ ළමුන් සඳහා ලැබෙන අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවලට බාධා සිදුවී ඇති බව දත්ත මඟින් පෙන්නුම් කෙරෙන අතර, බොහෝ දරුවන්ට ලැබිය යුතු අත්‍යාවශ්‍ය එන්නත් නොලැබී ‍ගොස් ඇත. වසංගතයේ ආර්ථික බලපෑම නිසා කාන්තාවන්ට සහ ආර්ථික අපහසුතා ඇති පවුල්ට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවී ඇති අතර, බොහෝ දෙනෙක් ආහාර නොලැබීමට හා දරිද්‍රතාවයට ගොදුරු වීමේ අවදානමේ පසුවේ.” ලෝක බැංකුව සඳහන් කරයි.

මෙම 2020 මානව ප්‍රාග්ධන දර්ශකයට, 2020 මාර්තු මස දක්වා ලෝක ජනගහනයෙන් සියයට 98 ක් ආවරණය වන පරිදි රටවල් 174 ක් සඳහා වූ අධ්‍යාපන හා සෞඛ්‍යමය දත්ත ඇතුළත් වේ. එය දරුවන්ගේ කොවිඩ්-19 වසංගතයට පෙර පැවති සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වය පිළිබඳ අවබෝධ කරගැනීමට අවශ්‍ය පදනමක් සපයන බවද ලෝක බැංකුව පෙන්වා දෙයි.

ගැහැණු ළමයින් සඳහා වන මානව ප්‍රාග්ධන ප්‍රතිඵලය (Human capital outcomes) පිරිමි ළමයින්ට වඩා සාමාන්‍යයෙන් ඉහළ මට්ටමක පවතින බව මෙම විශ්ලේෂණයෙන් හෙළි වී තිබේ. නමුත් මෙම තත්වය ශ්‍රම වෙළඳපොළට ප්‍රමාණවත් ලෙස සක්‍රීයව දායක කරගැනීමට ප්‍රමාණවත් අවස්ථාවන් නැත.සාමාන්‍යයෙන් දකුණු ආසියාවේ කාන්තාවන්ගේ රැකියා අනුපාතය පිරිමින්ගේ රැකියා අනුපාතයට වඩා සියයට 40 කින් අඩු බව දත්ත පෙන්වා දෙයි. තවද, කොවිඩ්-19 වසංගතය නිසා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය, ළමා විවාහ සහ නව යොවුන් වියේ ගැබ් ගැනීම් වැනි තත්වයන් නිසා ඇතිවිය අවදානම් තවත් උග්‍ර විය හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ ලෝක බැංකු කළමනාකරු චියෝ කන්ඩා මහත්මිය  “මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව දශක ගණනාවක් තිස්සේ එක්ව කටයුතු කර තිබෙනවා. ඒත් අද වන විට ඒ හරහා අප ලබාගත් ජයග්‍රහණය අවදානමට ලක්වෙලා තිබෙනවා.”  පැවසීය. 

“අඩු පහසුකම් සහිත ප්‍රදේශ වෙත සෞඛ්‍ය සේවා පුළුල් කිරීම සහ ගුණාත්මකභාවය වැඩි කිරීම, මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය ඉහළ නැංවීම, උසස් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම යනාදිය තුලින්ද  කොවිඩ්-19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා අවශ්‍ය සමාජ ආරක්ෂණ පියවර මඟින් ආර්ථික අපහසුතාවන් ඇති පවුල්වලට සහාය වීම මඟින්ද අප දිගටම ශ්‍රී ලංකාවට සහාය වෙනවා.” ඒ මහත්මිය තවදුරටත් පවසා තිබේ.

Visits: 389