තේ කර්මාන්තශාලා 705කින් 45ක් සිලෝන් ටී නාමයට හානි කරලා

මෙරට තුළ තේ කර්මාන්ත ශාලා 705 ක් පවතින බවත්, ඉන් කර්මාන්ත ශාලා 45කින් අයථා ක්‍රියාකාරකම් වාර්තා වී ඇති බව තේ මණ්ඩලයේ වත්මන් සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා පසුගියදා ජනපතිවරයා වෙත පවසා තිබේ. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලින් පසු එවැනි කර්මාන්තශාලා 18කම නිෂ්පාදන නතර කළ බවත් මේ කර්මාන්තශාලා හරහා ‘සිලෝන් ටී’ නාමය හානියට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ගුණාත්මක තේ නිෂ්පාදනය පිළිබඳව සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්හල් හිමියන් සහ අපනයනකරුවන් සමගින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තේ මණ්ඩල සභාපතිවරයා විසින් ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනුවත් කර ඇත.

මෙහිදී ඊට ප්‍රතිචාර දක්වා ඇති ජනපතිවරයා දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි සියලුම තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව මෙවැනි කර්මාන්තශාලා සහ ආයතන වැටලීම බුද්ධි අංශ තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය මගින් සිදු කෙරෙන බව මෙහිදී අනාවරණය වී ඇත. එසේම බුද්ධි අංශ සහය ඇතින අඛණ්ඩව පරීක්ෂණ කර මෙවැනි ආයතන වැටලීම් කරන ලෙසද ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

විශේෂයෙන්ම සීනි, ග්ලුකෝස් වර්ග සහ සෝඩියම් බයිකාබනේට්, පෙරස් සල්ෆේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රණයෙන් කෙරෙන තේ නිෂ්පාදන ගැන මෑතක සිට මාධ්‍ය මගින් වාර්තා වන බව ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත. එවැනි තේ ලෝක වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වීමෙන් තේ කර්මාන්තය දැවැන්ත පසුබැසීමකට ගොදුරු වී ඇතැයිද ජනපතිවරයා පැවසූ බව මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව රටේ කීර්තිනාමයට මෙන්ම ලෝක වෙළෙඳපොළේ Ceylon Tea සඳහා ඇති ඉල්ලුමට හානියක වීමට මින් ඉදිරියට කිසිසේත් ඉඩදිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබේ.

“ලෝක වෙළෙඳ පොළේ තේ සඳහා ඉල්ලුම 65% සිට 45% දක්වා පහළ වැටීමට තේ නිෂ්පාදනයේ ගුණාත්මක පරිහානිය බලපා තිබෙනවා. ගම්මිරිස් වෙළෙඳපොළට සිදුවූ හානියට තේ කර්මාන්තයත් ගොදුරුවීමට මම ඉඩ තබන්නේ නෑ.” ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

රටට ලැබෙන ආදායමට හෝ තේ කර්මාන්තයට හෝ බාල  තේ නිෂ්පාදනයෙන් බාධාවක් වීමට ඉඩ නොතැබිය යුතුය. ඉහළ ගුණාත්මක බවින් යුතු තේ ලෝක වෙළෙඳපොළට සැපයීමට තේ කර්මාන්තශාලා හිමියන් මෙන්ම  අපනයනකරුවන් වගබලාගත යුතුය. බාල තේ නිෂ්පාදනයට ඉඩ නොදෙන අතර එය නොතකා ක්‍රියා කරන කර්මාන්තශාලා වසා දමන්නැයි  ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, වැඩබලන පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරිහූ සහ තේ කර්මාන්තශාලා හිමියෝ සහ අපනයනකරුවෝ සාකච්ඡාවට එක්ව තිබේ.

Visits: 370