දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය (REITs) පිළිබඳ වැඩමුළුවක් පැවැත්වෙයි

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පසුගියදා හඳුන්වා දෙන ලද දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය (Real Estate Investment Trusts (REITs),  පිළිබඳව ක්‍රියාරාමුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඒෂියන් පාත්ෆයින්ඩර් ලීගල් කන්සල්ටන්සි ඇන්ඩ් සර්විසස් ආයතනය මගින් ඊයේ (17දා) සංවිධානය කෙරිණි.

මුදල්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් පැවැත්වුණු මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතාද සහභාගි විය.

මෙලෙස කොටස් වෙළෙපොළ සඳහා අලුතින් දේපළ වෙළෙඳාම් ආයෝජන භාරයක් හඳුන්වාදීම හරහා ආයෝජන අවස්ථාව ලබා දෙමින් ආර්ථිකයට මෙන්ම ජනතාවටද ඉහළ ප්‍රතිලාභ අත්පත් කරදීම අරමුණ බව සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි.

ශ්‍රී ලංකාව තුළ පවතින දේපළ වටිනාකම් අනුව බොහෝ පුරවැසියන්ට එම ආයෝජන වෙත සිය මුදල් යෙදවීමේ අවස්ථාවක් නොමැති තත්ත්වයක් උදා වී ඇත. ඒ හේතුවෙන් රටෙහි සැලකිය යුතු ප්‍රමාණයකට මෙම දේපළ සහ යටිතලපහසුකම් සංවර්ධන ව්‍යාපෘති හරහා ඉදිරිපත් වන වටිනාකම් තුළින් වාසි අත්පත් කරගැනීමේ හැකියාවක් උදා වී නොමැති බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අදහස බව මෙම අවස්ථාව සංවිධානය කළ ඒෂියන් පාත්ෆයින්ඩර් ලීගල් කන්සල්ටන්සි ඇන්ඩ් සර්විසස් ආයතනය පවසයි.

ඒ අනුව මෙම ගැටලුවට පිළියමක් ලෙස එම කොමිෂන් සභාව විසින් මෙලෙස ප්‍රධාන පෙළේ වාණිජ සහ නිවාස දේපළ වෙළෙඳාම් අංශ තුළ ආයෝජනය කිරීමට ආයෝජකයන්ට අවස්ථාව ලබා දී ඇති අතර, ඒ හරහා ඔවුන් දේපළ වෙළෙඳාම් හා සම්බන්ධ ප්‍රතිලාභ ලැබීමේ හැකියාව උදා කර දී ඇත. එසේම දිගුකාලීනව වටිනාකම් වැඩි කරගැනීමේ හැකියාවද මේ හරහා ලැබෙන බව පැවසෙයි.

ඒ අනුව ඒෂියන් පාත්ෆයින්ඩර් ලීගල් කන්සල්ටන්සි ඇන්ඩ් සර්විසස් ආයතනය මගින් මෙලෙස දේපළ වෙළෙඳාම් ආයෝජන භාරය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට කටයුතු කළ බවත් පවසයි.

මෙම අවස්ථාව සඳහා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ දයන්ත ජයසූරිය, එම කොමිෂන් සභාවේ නීතිය සහ බලාත්මක කිරීම් පිළිබඳ අධ්‍යක්ෂිකා අයන්ති අබේවික්‍රම, එම කොමිෂන් සභාවේ සාංගමික අධ්‍යක්ෂක ආචාර්ය හර්ෂන සුරියප්පෙරුම ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සම්බන්ධවී ඇත.

මෙම අවස්ථාවෙන් පසුව පැවැත්වුණු සාකච්ඡා වටය සඳහා කොළඹ කොටස් වෙළෙඳ පොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර්, සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් ආයතනයේ අධ්‍යක්ෂ රවී අබේසූරිය සහ KPMG ආයතනයේ බදු සහ නියාමන අංශයේ ප්‍රධානී සුරේෂ් පෙරේරා යන මහත්වරුන් සහභාගි වී ඇත.

Visits: 203