කොළඹ කොටස් හුවමාරුවේ ඩිජිටල් ක්‍රමවේදය අගමැති අතින් දියත් වෙයි

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද  කොටස් වෙළෙදපොළ ඩිජිටල්කරණ ක්‍රමවේදය ජනගත කිරීම අගමැති සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) පෙරවරුවේදී කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී සිදු විය.

%අනාගතයට අධි පිම්මක්(Hyper leap to the future)^ යන තේමාවෙන් මෙය සංවිධානය වී තිබුණි. මෙම අවස්ථාව සදහා ප්‍රාග්ධන වෙළෙඳ පොළ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, රාජ්‍ය  අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සහ ශ්‍රී ලංකා විදේශ දුත මණ්ඩලවලින් පැමිණි ජ්‍යෙෂ්ඨ ආරාධිතයින්,තැරැව්කාර සමාගම්,ලැයිස්තුගත සමාගම් සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාවද සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙහි සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතාගේ අදහසකට අනුව පිහිටවුණු කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙහි එකාබද්ධ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා මෙම මුලික ක්‍රියාකාරකම් ඩිජිටල්කරණය කිරීමට යාමේදී අවශ්‍ය පියවරයන් සහ යාන්ත්‍රණයන් හඳුනා ගැනීම සිදුව තිබේ.

“මෙහිදී ඊට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ විය හැකි අයුරින් සහ පරිශීලක අත් දැකීම්වලින් සහ සියළු පාර්ශ්ව අතර සක්‍රිය ක්‍රියාකාරිත්වයක් ළගා කරගත හැකි පරිදි සියලුම කටයුතු විද්‍යුත්කරණයට ලක්වන අයුරින් උපායමාර්ග ක්‍රමෝපාය සකස් කර තිබේ”කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මෙම මුලපිරීමේදී ප්‍රථම පියවර වන්නේ මුද්‍රිත ප්‍රකාශන නිකුත් කිරීම අත්හිටුවමින් ගිණුම් ප්‍රකාශන නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදය (electronically) වැනි විධිමත්  ක්‍රමවේදයක් හරහා පහසුකම් සැලසීම සහ ලැයිස්තුගත සමාගම් විසින් ලාභාංශ ගෙවීම් කිරිමේදී කොටස් හිමියන්ගේ  බැංකු ගිණුම් වෙත ඍජුවම විද්‍යුත් තැන්පතු  හරහා ලාභාංශ ගෙවිම් කිරීමේ හැකියාව ලැබීමයි. අද දිනයේ සිට මෙම දෙවැනි අදියර ඩිජිටල්කරණ වැඩසටහන හරහා නව ආයෝජකයින් හට ශාඛා කාර්යාලයකට නොගොස්  මධ්‍යම  තැන්පතු ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව හිමි වෙයි.

“එසේම දෙවැනි අදියර ලෙස කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පරිවර්තනීය ඩිජිටල් හඳුවාදීමක් ලෙසCSE ජංගම දුරකථන යෙදුම හරහා දිවයින පුරා විසිරී සිටින ආයෝජකයින්ට කොටස් වෙළෙඳපොල හෝ තැරව්කාර ආයතනවලට යාමකින් තොරව ගිණුම් ආරම්භ කිරීමේ පහසුව සලසා දී තිබෙනවා. එමඟින් නව ආයෝජකයින්ට කොටස් ගනුදෙනු සඳහා අවතීර්ණ වීම කෙරෙහි බාධාවක්ව පවතී දුරස්ථ භාවයේ ගැටළු මගහැරී යනු ඇත.” කොළඹ කොටස් හුවමාරුව පවසයි.

මේ අතර, හැසිරවීමේ වඩා පහසුවක් සහ විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත කරමින් CSE, SEC හා CDS වෙබ් අඩවි නව්‍යකරණයට ලක්කිරීමටද මෙහිදී පියවර ගෙන තිබේ. සුවිශේෂී වශයෙන් ආයෝජන අධ්‍යාපනය හා මූල්‍ය සාක්ෂරතාව අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හඳුන්වා දෙන ලද YouTubeනාලිකාවද අද දිනයේදී එළිදැක්වුණි.

“කොළඹ කොටස් වෙළදපොළ ඩිජිටල්කරණය මගින් අනාගතයේදී ශ්‍රී ලංකාව ගෝලීය මුල්‍ය මධ්‍යස්ථානයක් ලෙස තහවුරු කරගැනීමට හැකිවීම නිසා කොටස් වෙළදපොළ ප්‍රතිරූපය වෙනස් කරමින් අනාගතයට අධි පිම්මක් නැතහොත් “Hyper leap to the future”අත්පත්  කර ගත හැකි වෙනු ඇති.* කොළඹ කොටස් හුවමාරුව මෙහිදී අවසන් වශයෙන් සඳහන් කර සිටියි.

Visits: 368