කොළඹ කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්වීම අගමැති ප්‍රධානත්වයෙන් 17 වැනිදා

අගමැති/මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන සහභාගිත්වයෙන් ‘කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ඩිජිටල්කරණයට ලක්වීම’ සනිටුහන් කරමින් ලබන සැප්තැම්බර් 17 වැනි බ්‍රහස්පතින්දා දිනයේදී විශේෂිත වෙළෙඳ පොළ ගනුදෙනු විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කරන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.

එදින පෙරවරු 10.00ට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වේදිකාවේදී මෙම කටයුතු සංවිධානය වී තිබේ. මෙම අවස්ථාව ‘අනාගතය සඳහා අති පියවරක් – Hyper – Leap to the Future’ ලෙස ඔවුන් නම් කර ඇත. එසේම ඒ වෙනුවෙන් නිර්මාණය කළ වීඩියෝවක්ද මෙහිදී ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවේදී පිළිගැනීමේ කතාව කොළඹ කොටස් වෙළෙඳපොළ සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා විසින් සිදු කිරීමට නියමිතව ඇත. එසේම මෙලෙස ඩිජිටල්කරණයට ලක් කිරීම පිටුපස ඇති සිදුවීම් පිළිබඳව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස් මහතා විසින් පැහැදිලි කරයි.

එසේම එම කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ දයාරත්න මහතා විසින් “සුසමාදර්ශීය හුවමාරුව  – නියාමකයා විසින් මූලිකත්වය ගන්නා ලද” යනුවෙන් කෙටි දේශනයක් සිදු කිරීමට නියමිතව ඇත. අවසානයේදී ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් විශේෂිත අදහස් දැක්වීමක් සිදු කිරීමට නියමිතව ඇත.

කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සකස් කළ මෙම ඩිජිටල්කරණ නිෂ්පාදන එළිදැක්වීම ඉන් අනතුරුව සිදු වෙයි.

දිනයේ ගනුදෙනු සඳහා වෙළෙඳ පොළ විවෘත කරමින් සීනුව නාද කිරීම එදින පෙරවරු  11.00ට සිදු වෙයි.

එසේම මෙම අවස්ථාවේ ස්තූති කතාව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා විසින් සිදු කිරීමට නියමිතව ඇත.

Visits: 188