සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සභාපති සහ අධ්‍යක්ෂවරුන් දෙදෙනකු ඉවත් වෙයි

සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ඒ.ආර්.කරුණාරත්න මහතා ඇතුළුව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ එහි ප්‍රධාන විධායක නිලධාරී කේ.ආර්.බී. විජේරත්න සහ ටී. බුලන්කුලම යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇතැයි එම සමාගම පවසයි.

පසුගිය අගෝස්තු 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉල්ලා අස්වීම් බලපැවැත්වෙන බව සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

මෙහිදී ඉල්ලා අස් වූ සභාපති/අධ්‍යක්ෂ ආචාර්ය ඒ.ආර්. කරුණාරත්න මහතා 2012 වසරේදී අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තේරී පත්වී තිබේ. ඒ මහතා සතුව ධූරයෙන් ඉවත්වන මොහොත වන විටත් සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සීහි සාමාන්‍ය කොටස් 5,300ක්  සහ වරණීය කොටස් 10,000ක් තිබෙන බවත් සමාගම පවසයි.

එසේම ඉල්ලා අස්වූ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.ආර්.බී. විජේරත්න මහතා (රාවන විජේරත්න මහතා සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නිර්මාතෘවරයාගේ පුත්‍රයාද වෙයි) සතුවද වරණීය කොටස් 5,000ක් සහ ටී. බුලන්කුලම මහතා සතුව සමාගමේ සාමාන්‍ය කොටස් 500ක් තිබූ බවත් පැවසෙයි.

මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනා වෙනුවට තංගරාජා රවිකුමාර්, දීප්ති මනෝජ් පතිරාජ සහ ලලිත් එලබඩ ලියනගේ යන මහත්වරුන් නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කෙරුණු බවත් සමාගම පවසයි.

මෙම ඉවත්වීම් සහ පත් කිරීම් පිළිබඳව මහ බැංකු අනුමැතිය පසුගිය අගෝස්තු 28 වැනිදා සිය සමාගම වෙත හිමි වුණු බවත්, සමාගම් රෙජිස්ටාර්වරයා වෙත මෙම කරුණු ඉදිරිපත් කිරීම ඊයේ දිනයේදී සිදු වීම මෙම කරුණු අනාවරණය කිරීමට කල් ගත වීමට හේතුව බවත් සමාගම සඳහන් කරයි.

මේ අතර පසුගිය මාර්තු මාසයේදී සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ Watch List ලැයිස්තුවටද ඇතුළත් කෙරිණි. සමාගම කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් ලෙස එහි 7.10.7. යන වගන්තිය ප්‍රතිපූර්ණය කිරීමට අපොහොසත්වීම මෙලෙස එය Watch List ලැයිස්තුවට ඇතුළත් කරවීමට හේතුව වූ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි. පසුව ජූලි මාසයේදී එම ලැයිස්තුවෙන් සමාගම ඉවත් විය.

එසේම පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සිංහපුත්‍ර ෆයිනෑන්ස් පීඑල්සීහි බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක්ද නිකුත් කර තිබේ. එම සමාගමේ පැවැති මූල්‍ය අර්බුදකාරී තත්ත්වය සහ මූල්‍ය සමාගමක් ලෙස පවත්වාගත යුතු ප්‍රාග්ධන අවශ්‍යතාවන් සපුරා නොතිබීම ඊට හේතුවිය.

වර්තමානයේදී සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ හිමිකාරීත්වය දරන්නේ සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමයි. එම සමාගමේ හිමිකරුවා වන හරිත් රණසිංහ මහතා 2019 දෙසැම්බර් මාසයේදී සිංහපුත්‍ර පීඑල්සීහි කොටස් මිලියන 31.6ක් අත්පත් කරගැනීමට සමත්ව ඇති අතර, එය කොටස් ප්‍රතිශතයක් ලෙස 50.31% කි.

අංක 11, හිල් ස්ට්‍රීට් මහනුවර යන ලිපිනයෙහි පිහිටි සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී සමාගම 1978 වසරේ නොවැම්බර් 06 වැනිදා පිහිටුවා තිබේ. අනතුරුව 2007 වසරේ අංක 07 දරන නව සමාගම් පනත යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් බවට එය පත්ව තිබේ. එය 2010 වසරේ ජූනි 2 වැනිදා සිට කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගමක් බවට පත්විය. එසේම එම මොහොතේ සිට සමාගමේ නම ‘සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී’ බවටද වෙනස් විය.

තැන්පතු භාරගැනීම, ෆිනෑන්ස් පහසුකම් ලබාදීම, පෞද්ගලික ණය, උගස් ලබා ගැනීම්, මෝටර් රථ ආනයනය, දේපළ සංවර්ධනය, විදේශ මුදල් හුවමාරුව, රක්ෂණ සමාගම්හි උප නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම මෙන්ම වෙස්ටර්න් යුනියන් මනිට්‍රාස්ෆර් සේවාවේ උප නියෝජිතයෙකු ලෙසද සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී කටයුතු කරයි.

අද වනවිට නුවර ප්‍රධාන කාර්යාලයට අමතරව කොළඹ, කුරුණෑගල, බණ්ඩාරවෙල, අනුරාධපුර, කටුගස්තොට, කුන්ඩසාලේ දඹුල්ල, මාතලේ සහ මහියංගනයේ සිංහපුත්‍ර ෆිනෑන්ස් පීඑල්සී කාර්යාල පිහිටුවා තිබේ. මීට අමතරව  දෙහිවල නගරයේ සිංහපුත්‍ර උගස් මධ්‍යස්ථානයක්ද පිහිටා තිබේ.

පෙර ලිපිය
COVID-19 අස්සේ සිංහපුත්‍ර ෆිනෑන්ස් කොටස් වෙළෙඳ පොළ Watch List ලැයිස්තුවට

Visits: 174