විදේශීය සහ දේශීය ඖෂධ සමාගම් වෙත හම්බන්තොට හා අනුරාධපුරයේ කර්මාන්තපුර

විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා විදේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් වෙත හම්බන්තොට කර්මාන්ත පුරවරයේ අක්කර 400ක ආයෝජන කලාපයක් ඉදි කිරීමටත්, දේශීය ආයෝජකයන් සඳහා අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක අයෝජන කලාපයක් ඉදි කිරීමට සැලසුම් කෙරී ඇතැයි ජනපතිවරයා පවසයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව හම්බන්තොට කර්මාන්ත පුරවරය සඳහා එක්වීමට ලෝකයේ ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටින බවත්, අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු කලාපයේ ඖෂධ සඳහා පවතින විශාල ඉල්ලුම හරහා ඉදිරිපත්ව ඇති වෙළෙඳපළ අවස්ථා අත්කර ගැනීම ඔවුන්ගේ ඉලක්කයක් බවද මෙහිදී සඳහන්ව තිබේ.

එසේම දේශීය ආයෝජකයන් සඳහා අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක භූමි භාගයක අයෝජන කලාපයක් ඉදි කිරීමට සැලසුම් කෙරී ඇත. එහිදී මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 25 දෙනෙක් ඇමරිකානු ඩොලර් මිලියන 300කට වැඩි  ආයෝජනයක් කිරීමට සූදානම්ව සිටින බවත් මෙහිදී අනාවරණය විය.

“රාජ්‍ය අංශය දියුණු කරන අතරම, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් ද ශක්තිමත් කිරීමට රජය බැඳී සිටිනවා. ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන ලෙස මම ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත  විවෘත ආරාධනයක් සිදු කරනවා.” යනුවෙන්ද ජනපතිවරයා මෙහිදී පවසා ඇත.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල මෙන්ම රේඛීය ආයතනවල නිලධාරීහූ සහ ඖෂධ සමාගම් නියෝජිතයෝ ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

වත්මන් රජය යටතේ මෙරට ඖෂධ නිෂ්පාදනයේ සුවිශේෂ ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙන බවත්, මේ වන විට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නැති බවත් මෙම සාකච්ඡාවේදී පැවසුණි. එසේම සෑම මසකටම එක් නව ඖෂධයක් රට තුළ නිෂ්පාදනය ආරම්භ කර ඇතැයිද සාකච්ඡාව සඳහා පැමිණ සිටි පිරිස් ජනතපතිවරයා දැනුවත් කර තිබේ. ඒ අනුව ඉදිරි වසරේදී සති දෙකකට වරක් නව ඖෂධයක් නිෂ්පාදනය ඉලක්කය බවත් සඳහන් වෙයි.

Visits: 83