මෙරට සමුද්‍රීය විශේෂඥයන්ට නෙදර්ලන්ත සමුද්‍රීය විශේෂඥයන්ගේ දැනුම ලබා ගැනීමට එකඟතාව

ඵෙතිහාසික අත්දැකීම් බහුල නෙදර්ලන්ත සමුද්‍රීය විශේෂඥයන්ගේ දැනුම ශ්‍රී ලංකාවේ සමුද්‍රීය විශේෂඥයන්ට ලබාදීමට නෙදර්ලන්ත රජය කැමැත්තෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී ටන්ජා ගොන්ග්‍රිජ් මහත්මිය පවසයි. ඇය ඇතුළු නෙදර්ලන්ත දූත පිරිසක් ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ කරුණු පවසා තිබේ.

මෙම හමුවීම අවස්ථාවේදී සිදුකළ කතාබහ අතරතුරදී අගමැතිවරයා පසුගියදා මෙරට මුහුදු සීමාවේදී අනතුරට පත්  MT – නිව් ඩයමන්ඩ් තෙල් ප්‍රවාහන නෞකාවේ සිටි නෙදර්ලන්ත විශේෂඥයින් පිළිබඳව සිදු කළ විමසීමේදී, මෙලෙස දෙරටේ සමුද්‍රීය විශේෂඥයින් අතර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දී තිබේ.

ඒ අනුව අනුව නෙදර්ලන්ත තානාපතිවරිය සහ පැමිණි දූත පිරිස මෙම යෝජනාව පිළිබඳ කැමැත්ත පළ කර ඇතැයි අගමැති කාර්යාලය සඳහන් කරයි.

මේ අතර, නෙදර්ලන්තය මගින් දැනටමත් මෙරට තුළ රෝහල් සහ පාළම් තැනීම, වෘත්තීය පුහුණුව සහ යාපනයේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් ඇතුළු ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක කරයි. එසේම ආරක්ෂිත පානීය ජලය සහ වඩා හොඳ වාරිමාර්ග පහසුකම් සැපයීම ඇතුළු ශ්‍රී ලංකාවේ තවත් ව්‍යාපෘති රැසකටද නෙදර්ලන්තය මේ වන විට සහයෝගය දක්වනු ලබන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

මීට අමතරව සේවා අංශය සහ ඒකාබද්ධ බහු බෝග කෘෂිකර්මාන්තය අතර ඉදිරියේදී සහයෝගීතාව වර්ධනය කර ගැනීම  පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරී තිබේ.

මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලට අමතරව පසුගියදා පැවැති මහ මැතිවරණයේ ලද ජයග්‍රහණය පිළිබඳවද නෙදර්ලන්ත තානාපතිනිය අගමැති මහින්ද රාජපපක්ෂ මහතා වෙත සුභ පැතුම් එක් කර තිබේ. එසේම කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය පිළිබඳව ඇය රජයට ප්‍රශංසා කර තිබේ.

Visits: 37