මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිපදවීමට සැලසුමක්

විදේශ වෙළෙඳපොළට සහ ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට  ලබාදීම ඉලක්කය කරගනිමින් ඉදිරි වසර තුන ඇතුළතදී මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිපදවීමට සැලසුම් සකස් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ කරුණු පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හා ප්‍රමිතීන්ට අනුකූලව සියලු නිෂ්පාදන සිදු කෙරෙන බවත් ජනපතිවරයා අවධාරණය කර තිබේ.

සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල මෙන්ම රේඛීය ආයතනවල නිලධාරීන් සහ ඖෂධ සමාගම් නියෝජිතයන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව තිබේ.

විශේෂයෙන්ම මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 85% මේ වනවිට ආනයනය කරනු ලබන බවත්, ඒ සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 130ක්  පමණ වැය කෙරෙන බවත් මෙහිදී අනාවරණය වී තිබේ. ඒ අනුව මෙරට ඖෂධ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් රටට ඉතිරි වන බවත්. අදාළ ඉලක්ක ජය ගැනීමට හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.

“දැනට ආසියානු කලාපය තුළ වැඩියෙන්ම  ඖෂධ ආනයනය කරන රට ශ්‍රී ලංකාවයි. වහාම මේ තත්ත්වය වෙනස් කළයුතුව තිබෙනවා. ඊට දායක වීමට මහා පරිමාණ  දේශීය ආයෝජකයන්  කැමැත්ත පල කර තිබෙනවා.” යනුවෙන්ද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Visits: 50