කුකුල් මස් නිෂ්පාදන සමාගම් සඳහා වන ආයෝජක ආකර්ෂණය මන්දගාමී වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ අද දිනයේදී (සැප්තැම්බර් 11) සිදුවූ ගනුදෙනු අතරතුරදී පසුගිය දින කිහිපයේදී කොටස් මිල ඉහළ ගිය කුකුළු මස් නිෂ්පාදන අංශයේ සමාගම්හි කොටස් වටිනාකම් යම් පහළ යාමක් පෙන්නුම් කෙරිණි. රජය මගින් ගව ඝාතනය පිළිබඳ තීරණය තවත් මාසයකට කල් දැමීම ඒ සඳහා හේතු වූ බව සඳහන් වෙයි. එහෙත් ඊයේ දිනයේ නිකුත් වූ වෙළෙඳපොළ පර්යේෂණ වාර්තාවක් හරහා රජයේ මෙම තීරණය අනිවාර්යයෙන්ම සිදු වනු ඇති බවට කරුණු දැක්වීමත් සමගින්ම මෙම අංශය සම්බන්ධයෙන් තරමක් මන්දගාමී තත්ත්වයක් පෙන්නුම් කළ බවද කොටස් තැරැව්කාර සමාගම් පවසයි. කෙසේ වෙතත් මේ සතිය පුරාම ඉදිකිරීම් කර්මාන්ත අංශයේ සමාගම්හි කොටස් වටිනාකම් ක්‍රමික ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව පසුගිය ඊයේ (සැප්තැම්බර් 10දා) ට සාපේක්ෂව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයත් ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,411.44 ත් ඒකක 5,447.53 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,438.91ක් බවට පත්විය. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව එය ඒකක 39.37 ක් එනම් 0.74%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු කළ ගනුදෙනු ලෙස ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී, ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී, ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සම්පත් බැංකුව යන සමාගම් සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 11%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 103ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 57ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී  DIST  (+5.29), සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (+3.37), ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී ASIR (+3.14), අමානා බෑන්ක් පීඑල්සී ABL (+2.88), කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී CARG (+1.78), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-0.78), වැලිබල් වන් පීඑල්සී VONE (-0.75),  ඊ බී ක්‍රීසි ඇන්ඩ් කම්පැනි පීඑල්සි EBCR (-0.58), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (-0.55)  සහ එක්ස්පෝ ලංකා පීඑල්සී EXPO (-0.45) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,359.24 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 10) දිනයට සාපේක්ෂව ඒකක 16.39 ක එනම් 0.70%ක  ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.64ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 2.27 ට සාපේක්ෂව 39%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.36 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.10%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 194.55ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 385.66ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 191.11 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 34.64ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 45.86කි. එසේම සිලෝන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 84.24ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 466ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 28% ක අගයක් ගෙන තිබේ. එසේම ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 405ක සහ රුපියල් මිලියන 257ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 265