අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් යළිත් Watch List වැටෙයි

‍කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්ගුගත සමාගමක් වන අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගම යළිත් වරක් එහි Watch list ලැයිස්තුවට ඇතුළත්ව ඇතැයි පවසයි. 2020 සැප්තැම්බර් 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඇතුළත් කිරීම සිදුව තිබේ.

2020 මාර්තු 31 වැනිදා අවසන් වන කාර්තුව සඳහා ලබා දිය යුතු අතරමැදි මූල්‍ය ප්‍රකාශනය සැප්තැම්බර් 10 දක්වාම ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම මෙලෙස එම සමාගම Watch list ලැයිස්තුවට ඇතුළත් කිරීමට හේතුව බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

මීට පෙර පසුගිය පෙබරවාරි 12 වැනිදාද අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගම Watch list ලැයිස්තුවට ඇතුළත්ව තිබූ අතර, 2018 වසරේ සහ 2019 වසරේ ලබාදිය යුතුව තිබූ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම ඊට හේතුවිය. පසුව මාර්තු 04 වැනිදා සමාගම එම ලැයිස්තුවෙන් ඉවත් කෙරිණි.  

මේ අතර පසුගිය අගෝස්තු 20 වැනිදා එම සමාගම කොටස් වෙළෙඳ පොළ තුළ හිමිකම් නිකුත්වක් සිදු කළ අතර එහිදී ඡන්දහිමි කොටස් 91,522,915ක්ද නිකුත් කෙරිණි. කොටසක මිල රුපියල් 2ක් බැගින් නිකුත් වූ මේ කොට්ස් හරහා උපයා ගන්නා මුදල් සමාගමේ මෙහෙයුම් අවශ්‍යතාවන් වෙනුවෙන් යොදවා ගන්නා බව සමාගම සඳහන් කර තිබුණි. මේ අතර එම දිනය වනවිට සමාගමේ ප්‍රාග්ධනය රුපියල් 4,896,829,930.00 ක් බවද හෙළිදරව් කෙරිණි.

අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී හි මෙම ANILANA සන්නාමය යටතේ මේ වනවිට අනිලානා පාසිකුඩා, අනිලානා නිලාවේලි සහ අනිලානා ක්‍රේයිග්බෑන්ක් (නුවරඑළිය) හෝටල් සහ නවාතැන් පවතී. 

හෝටල් සංවර්ධනය සහ කලමණාකරනයේ යෙදෙන අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සහ එහි පරිපාලිත සමාගම්හි සභාපතිත්වය සහ කළමනාකාර අධ්‍යක්ෂධුරය, සිංගප්පූරුවේ පිහිටි Somap International Pte Ltd. හි නිර්මාතෘවරයා වන දිනේෂ් පාන්ඩේය. 

2018 වසරේ අගෝස්තු මාසයේදී ඔහු අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සීහි 51% කොටස් ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට සමත්වීම ඊට හේතුවිය.

එසේම අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී හි අධ්‍යක්ෂවරයා මෙන්ම නිර්මාතෘවරයා වන්නේ මෙරට සමාගම් කිහිපයකම ප්‍රධාන ධුර දරන, කොළඹ කොටස් වෙළෙඳ පොළ තැරැව්කරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකුද වන ප්‍රකට ව්‍යාපාරික අසංග චන්දන සෙනෙවිරත්න මහතාය.

පෙර ලිපිය
අනිලානා හොටෙල් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී කොටස් වෙළෙඳ පොළ Watch List වෙතින් ඉවතට

Visits: 110