ගව මස් වෙළෙඳාම තහනම පිළිබඳ වූ අදහස නිසා කුකුළු මස් සමාගම් කොටස් මිල ඉහළට

ගව මස් වෙළෙඳාම රට තුළ තහනම් කිරීම සඳහා රජය උනන්දුවක් දැක්වීම පිළිබඳව ඇති වූ රාවය මෙන්ම රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේ සිදුවන වෙනස්වීම් යන කාරණා නිසා අද දිනයේදී (සැප්තැම්බර් 10) කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ කුකුළු මස් නිෂ්පාදන අංශයේ කොටස් වටිනාකම් ඉහළ යාම ඇතුළුව සමස්තයක් ලෙස ඉහළ ගැණුම්බරතාවක් පෙන්නුම් කිරීමට සමත් වූ බව කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම් පවසයි. එසේම ඉදිකිරීම් අංශයේ ක්‍රියාකාරකම්හි වර්ධනයත් සමග නිෂ්පාදන අංශයේ සමාගම් තවදුරටත් ධනාත්මකව පැවැති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව පසුගිය ඊයේ (සැප්තැම්බර් 09දා) ට සාපේක්ෂව අද දිනය අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය (ASPI) මෙන්ම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකයත් ධන අගයක් ගෙන තිබුණි.  

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,380.35 ත් ඒකක 5,406.62 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,399.54ක් බවට පත්විය. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව එය ඒකක 29.15 ක් එනම් 0.54%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු කළ ගනුදෙනු ලෙස ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සම්පත් බැංකුව, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී, සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම් සිදු කළ ගනුදෙනු දිනයේ සමස්ත පිරිවැටුමෙන් 28%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.  

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 104ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 72ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්සන් කුම්බර්බැච් පීඑල්සී CARS (+4.11), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී BIL (+3.31), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+3.18), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (+2.73), මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී MELS (+2.41), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-8.62), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-3.32),  ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් ASIR (-1.05), සම්පත් බැංකුව පීඑල්සී SAMP (-0.70)  සහ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී COCR (-0.66) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,342.85 ක අගයක් ගත් අතර, එය ඊයේ (සැප්තැම්බර් 09) දිනයට සාපේක්ෂව ඒකක 8.09 ක එනම් 0.35%ක  ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.27ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයේ වාර්තා කළ රුපියල් බිලියන 3.13 ට සාපේක්ෂව 15%ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.35 ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 17.70%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 76.55ක් ලෙස සටහන් විය. එසේම  සමස්ත විදෙස් විකුණුම් රුපියල් බිලියන 289.13ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 212.58 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 34.75ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී විදෙස් මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සීඅයිසී හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම විදෙස් ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.19කි. එසේම සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී විදෙස් විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ විදෙස් ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 79.79ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල්  මිලියන 895ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 34% ක අගයක් ගෙන තිබේ. එසේම ආහාර, පාන වර්ග සහ දුම්කොළ නිෂ්පාදන අංශය සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 505ක සහ රුපියල් මිලියන 435ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 232