සංචාරක ව්‍යාපාරය නංවාලීමට යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 4.9ක්

කොවිඩ් 19 හේතුවෙන් බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා යූරෝ මිලියන 4.9ක ප්‍රදානයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර ඇතැයි පවසයි. එම ප්‍රදානය ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාට සහතික වී ඇත.

තානාපති ඩෙනිස් චායිබි මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගියදා සංචාරක අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේදී තානාපතිවරයා මේ බව සඳහන් කර තිබේ. මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්වුණු බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදහස් දක්වා ඇති යුරෝපා සංගම් තානාපතිවරයා, සංචාරක කේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා ප්‍රධාන කේෂ්ත්‍ර 07ක් සඳහා මෙම ප්‍රදානය ලබාදීමට අපේක්ෂා කරන බව පවසා තිබේ.

එහිදී සංචාරක මාර්ගෝපදේශ සංග්‍රහයක් සැකසීම, ශරීර සුවතා සංචරණය, සංචාරක කේෂ්ත්‍රයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය දීම, කේෂ්ත්‍රයේ නියුතු ද වූවන්ගේ සෞඛ්‍ය හා පුහුණු කටයුතු, සමාජ ආරක්ෂණ වැඩසටහන් හා ප්‍රජා පාදක සංචාරක කර්මාන්තය නංවාලීම වෙනුවෙන් මෙම ප්‍රදානය හිමිවීමට නියමිතය.

ඒ අනුව සංචාරක කේෂ්ත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවත්වාගෙන යන හෝටල් 54ක් සඳහා ආධාර ලබාදීමට නියමිතයි. ලෝක කම්කරු සංවිධානය සමඟ ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය සඳහා යූරෝ ලක්ෂ 2ක් ලබාදීමටද තීරණය කර තිබේ. මධ්‍යම හා ඌව පලාත් කේන්ද්‍ර කරගත් ප්‍රජා පාදක සංචාරක ව්‍යාපාරය උදෙසා යූරෝ මිලියනයක් වෙන් කිරීමට කටයුතු ද යොදා ඇත.

මෙම සාකච්ඡා සඳහා ගුවන්සේවා හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය ඇමති ඩී.වී.චානක , යුරෝපා සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙළඳ හා සන්නිවේදන ප්‍රධානි තර්ස්ටන් බාග්ෆ්‍රෙඩ්, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මාධව දේවසුරේන්ද්‍ර යන මහත්වරුද එක්ව තිබේ.

Visits: 122