එච්.ඒ. කරුණාරත්න කලම්බු ඩොක්යාර්ඩ් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වෙයි

කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මහ බැංකුවේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය අධිපතිවරයෙකු වන එච්.ඒ. කරුණාරත්න මහතා ඉන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි. 2020 සැප්තැම්බර් 05 වැනිදා සිට මෙම ඉවත් වීම සිදු ව තිබේ.

කරුණාරත්න මහතා කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ කොටස් හිමිකාරීත්වයක් සහිත සේවක අර්ථසාධක අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නම් කර තිබූ සාමාජිකයාද වෙයි.

මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වන විට ඒ මහතා සතුව කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සීහි කිසිදු කොටස් හිමිකමක් නොමැති බවත් සමාගම සඳහන් කරයි.

2019 දෙසැම්බර් 31 වැනිදා වනවිට කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. එය සමස්ත කොටස් අතරින් කොටස් 11,744,099 ක ප්‍රමාණයකි. ප්‍රතිශතයක් ලෙස 16.343කි. එහි ප්‍රධාන කොටස් හිමිකරුවා වන ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගම වෙත කොටස් 51%ක් හිමි අතර එහි කොටස් ප්‍රමාණය 36,648,051 කි.

කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වන්නේ සභාපති හිඩේකි ටානාකා, උප සභාපති සරත් ද කොස්තා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ඩී.වී. අබේසිංහ සහ අධ්‍යක්ෂවරුන් වන ටී. නාකාබේ, කේ. කානායා, එච්.ඒ.ආර්.කේ. වික්‍රමතිලක, ලලිත් ගන්ලාත් සහ සාදි ඒ වදූද් යන මහත්වරුන්ය.

Visits: 134