ශ්‍රී ලංකා-චීන ව්‍යාපාරික කවුන්සිලයේ 19 වැනි වාර්ෂික මහා සභාව පැවැත්වෙයි

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික කවුන්සිලයේ (SLCHBC) 19 වැනි වාර්ෂික මහා සභා රැස්වීම චීන තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක යැං සූයුආන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සාර්ථකව පැවැත් වුණු බව එම මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකා – චීන ව්‍යාපාරික කවුන්සිලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ අනුග්‍රහය යටතේ 2001 වසරේ අප්‍රේල් 26දා ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළෙඳ, ආයෝජන, සේවා සහ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙම කවුන්සිලය පිහිටුවා තිබේ.

ඒ අනුව 2020-2021 වර්ෂය සඳහා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කාගෝසර්ව් නැව් සමාගමේ අධ්‍යක්ෂ අරුණ පෙරේරා මහතා තේරීපත්ව තිබේ.

ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ චමින්ද පෙරේරා මහතා තේරීපත් වූ අතර, කවුන්සිලයේ උප සභාපති ලෙස ස්ට්‍රෙච්ලයින් (පුද්.) සමාගමේ රුවන් සේනවිරත්න මහතා තේරීපත් විය. සින්වා හෝල්ඩින්ග්ස් සමාගමේ හරූන් කාදර් මහතා භාණ්ඩාගාරික ලෙස තේරීපත් වූ අතර, සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි තුලිත මෙන්ඩිස් මහතා කවුන්සිලයේ ආසන්නතම හිටපු සභාපතිවරයා ලෙස සේවය කරන බවත් එම කවුන්සිලය සඳහන් කරයි.

හිටපු සභාපති තුලිත මෙන්ඩිස් මහතාගේ නායකත්වය යටතේ පසුගිය වසරේදී කවුන්සිලය වඩාත් ජවසම්පන්නව ඉදිරියට ගිය බව නව සභාපති අරුණ පෙරේරා මහතා සඳහන් කර තිබේ. බොහෝ බාධක මධ්‍යයේ වුවද, රටේ අවශ්‍යතාවන්ට අනුකූල අංශ කෙරෙහි අවධානය යොමු කරමින් කවුන්සිලයේ කටයුතු අඛණ්ඩව සිදුවනු ඇති බවද ඔහු පවසා ඇත.

චීන තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක යැං සූයුආන් මහතා අදහස් දක්වමින්, “වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීන රජය වඩාත් පුළුල්, පරිපූර්ණ හා දැඩි පියවර ගෙන තිබෙනවා. චීනය, ශ්‍රී ලංකාව සමග ඇති මිත්‍ර සබඳතා අගය කරන අතර, ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරනවා. වසංගතය ආර්ථිකයට අහිතකර ලෙස බලපා තිබියදීත්, දෙවැනි කාර්තුවේදී චීනයේ ආර්ථික වර්ධනය සෘණාත්මක සිට ධනාත්මක දෙසට හැරී ඇති අතර, එය වසරින් වසර 3.2%ක වර්ධනයක් පෙන්නුම් කරනවා. උසස් සහයෝගීතාවක් සමග ‘එක් මාවතක් එක් තීරයක්’ මුලපිරීම සමග ඉදිරියට ගෙනයනු ඇතැයි අප විශ්වාස කරනවා. මෙවැනි උත්සාහයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමටද ඉවහල් වනු ඇති” යනුවෙන් පවසා තිබේ.

මෙම නව පත් කිරීම්වලට අමතරව අබාන්ස් පීඑල්සී, කොස්කෝ ලංකා (පුද්.) සමාගම, ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි, හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ග්ස්, ඇකෝන් ඒවියේෂන් (පුද්.) සමාගම, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ප්‍රීමා සිලෝන් (පුද්.) සමාගම, ස්පිල්බර්ග් හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම, සන්ෂයින් ටී (පුද්.) සමාගම සහ සෑම් ජෙම්ස් (පුද්.) සමාගම කවුන්සිලයේ විධායක කමිටු සාමාජිකත්වය සඳහා තෝරා පත්කර ගන්නා ලදී.

Visits: 22