මත්ස්‍ය ආහාර නිපදවන ‘ඇග්‍රි ස්ටාර් ෆිෂ් මිල්ස්’ හි නිෂ්පාදනය වැඩි කිරීමට යයි

ශ්‍රී ලංකාවේ පළමු මත්ස්‍ය ආහාර නිෂ්පාදනාගාරය ලෙස ජා ඇල ප්‍රදේශයේ පිහිටුවන ලද ‘ඇග්‍රි ස්ටාර් ෆිෂ් මිල්ස්’ පුද්ගලික සමාගමේ දෛනික මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිලෝ 1500 දක්වා වැඩි කිරීම පිළිබද සාකච්ඡාවක් පසුගියදා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වී තිබේ.

ඇග්‍රි ස්ටාර් ෆිෂ් මිල්ස් පුද්ගලික සමාගම හා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත (නාරා) ආයතනය ඒකාබද්ධව පසුගිය වර්ෂයේ ආරම්භ කරන ලද මෙම ආයතනය ලංකාවේ පළමු මත්ස්‍ය ආහාර නිෂ්පාදනය සිදුකරන ආයතනයද වෙයි.

මෙහි දැනට මත්ස්‍ය ආහාර නිෂ්පාදනය සිදුකරන නමුත් එහි පවතින යන්ත්‍රවල දුර්වලකම් හේතුකොට ගෙන උපරිම ධාරිතාවයකින් එම ආහාර නිෂ්පාදනය සිදුකිරීමට නොහැකි වී ඇතැයි පැවසෙයි. මෙම යන්ත්‍රාගාරය පිහිටුවීමේදී විශේෂයෙන් ගෙන්වන ලද යන්ත්‍ර සුත්‍ර වර්තමාන ලෝකයේ තිබෙන තාක්ෂණයෙන් ඉහළ යන්ත්‍ර නොවන බැවින් මෙම අඩුපාඩුව සිදු වී තිබේ.

වර්තමානයේදී නාරා ආයතනයේ ඉංජිනේරුවරුන් හා මෙම ආයතනයේ ඉංජිනේරුවරුන් එක්ව එම යන්ත්‍ර නවීකරණයට විශාල උත්සහායක් දරා ඇතත්, ඒවායින් දැනට නිෂ්පාදනය කළ හැක්කේ දිනකට සීමිත මත්ස්‍ය ආහාර ප්‍රමාණයක් බැවින් ඒ සදහා සුදුසු නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රයක් ගෙන්වා දෙන ලෙස එම ආයතනයේ හිමිකරුවන් විසින් අමාත්‍යතුමන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව මේ මස 14 වන දින පෙරවරු 10.00ට එම ස්ථානයට පැමිණ තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් නාරා ආයතනයේ ඉංජිනේරුවරුන් ප්‍රකාශ කරන ඇත්තේ, තිබෙන යන්ත්‍රය සඳහා දැනට විශාල වියදමක් දරා ඇති බැවින්, නව යන්ත්‍රයක් ගෙන්වීමට වඩා – එය වැඩි දියුණු කර  නිෂ්පාදනය වර්ධනය කිරීමට උත්සහ ගත යුතු බවත්ය.

එහෙත් මේ පිළිබදව තම නිරීක්ෂණයෙන් පසු අවශ්‍ය පියවරයන් ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ

මෙම අවස්ථාව සදහා නාරා ආයතනයේ සභාපති ආචාර්ය නවරත්නරාජ, ඇග්‍රි ස්ටාර් ෆිෂ් මිල්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන්, ජයන්ත කුරේ, ධීවර අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ජයන්ත චන්ද්‍රසෝම, නාරා ආයතනයේ ඉංජිනේරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූ බව පැවසෙයි.

Visits: 82